තරුණ සේවා සභාව පැවැත්වූ සංගීත ප්‍රසංගයකින් රජයේ මුදල් දැවැන්ත ලෙස විනාශ කර ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා අද (11) හෙළිකළා.
පැවති රජයේ විශේෂ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වූ Smart Youth Night ප්‍රදර්ශන මාලාව සංවිධානය කිරීමේ දී සිදුව ඇති මූල්‍ය වංචාව පිළිබඳව විගණන විමසුමකින් කරුණු අනාවරණය වී තිබෙනවා.
තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රනාන්දු ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම ප්‍රදර්ශන සහ ප්‍රසංග මාලාව පැවැත්වුණා.
එම ප්‍රසංග මාලාව සංවිධානය කිරීමේ දී සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පසුගිය දා අනාවරණය කළා.
Smart Youth Night ප්‍රදර්ශන සහ සංගීත ප්‍රසංග මාලාවෙහි යෝජිත ප්‍රසංග 14න් ප්‍රසංග 2ක මූලික වියදම් සහ සංවිධාන කටයුතු සිදු කර ඇති නමුත්, ප්‍රසංග පවත්වා නොමැති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය.
ඒ අනුව හැටන් සහ වැලිසර ප්‍රදේශවල ප්‍රසංග සඳහා මූලික වියදම් දරා ඇති නමුදු එම ප්‍රසංග පවත්වා නොමැති බවත්, එම ප්‍රසංග දෙකෙහි සංවිධාන කටයුතු වෙනුවෙන් රුපියල් 295,292 ක් වියදම් කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
හැටන් ප්‍රසංගයේ සංවිධාන කටයුතු වෙනුවෙන් රුපියල් 234,592 ක් සහ වැලිසර ප්‍රසංගයේ සංවිධාන කටයුතු වෙනුවෙන් රුපියල් 60,700 ක වියදමක් දරා ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.
දැඩි ආර්ථික අර්බුදයක් පැවති සමයක දී පසුගිය රජය Smart Youth Night ප්‍රදර්ශන සහ ප්‍රසංග මාලාව සඳහා මුදල් වියදම් කිරීම මතභේදාත්මක යැයි මෙම වසරේ ජනවාරි 6 වෙනිදා නිකුත් කරන ලද විගණන විමසුමකින් කරුණු ඉදිරිපත් කර ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (11දා) හෝමාගම දියගම ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මෙම ප්‍රදර්ශන හා ප්‍රසංග තරුණ සේවා සභාවේ විශේෂ ව්‍යාපෘති යෝජනාවක් ලෙස ඉදිරිපත් කර ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
එනමුත් සංගීත ප්‍රසංග අප්‍රේල් මාසයේ දී ආරම්භ කර කැබිනට් අනුමැතිය ලබාගෙන ඇත්තේ ජූලි මාසයේදී බවත්, මෙම විශේෂ ව්‍යාපෘතිය පිළිබඳව තරුණ සේවා සභාවට දන්වා ඇත්තේ කැබිනට් අනුමැතිය හිමි වී සතියකින් පසුව බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කරුණු අනාවරණය කළා.
2030 වසර වන විට තරුණ තරුණියන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍ය නගා සිටුවීමට හැකි බවත් බෝ නොවන රෝග වැළඳීම තුනෙන් එකකින් වළක්වා ගත හැකි බව සඳහන් කරමින් smart youth night ප්‍රදර්ශන හා සංගීත ප්‍රසංග මාලාව පවත්වා ඇති නමුත්, එම හේතු සාධාරණ හේතු ලෙස පිළිගත නොහැකි බව විගණන විමසුමේ දක්වා තිබෙනවා.
මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත්, මෙම වංචාවට සම්බන්ධ සියලු පාර්ශවයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.
දියගම ක්‍රීඩා සංකීර්ණයේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ කරුණු පැහැදිලි කිරීම වෙනුවෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්වුණා.
එම මාධ්‍ය හමුවට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න සහභාගී වුණා.