ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 9.3% දක්වා වැඩි වීම ධනාත්මක වෙනසක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
පසුගියදා (07 ) කොළඹ හිල්ටන් හෝටලයේදී පැවති “ප්‍රතිභාභිෂේක” කාන්තා ව්‍යවසායක සම්මාන උළෙලට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියා.
එය ශ්‍රී ලංකා කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය විසින් සංවිධාන කර තිබුණා.
මෙම උත්සවයේදී 2024 “වසරේ කාන්තා ව්‍යවසායිකාව” ලෙස ආචාර්ය දිලේෂා පෙරේරා සම්මාන ලැබුවා.
වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ,
“අපේ රටට සහ අපේ කර්මාන්තයට ඔබ එක් කළ නවෝත්පාදන කුසලතාවන් දැකීම සතුටට කරුණක් වගේම ඔබ සැම මෙලෙස හමුවීමත් සතුටක්.
මෙම කාන්තාවන් ඔවුන්ගේ ව්‍යාපාර මෙහෙයවන්නේ කාන්තාවන් සතු ශක්තිය සහ කුසලතාවන් පෙන්වමින් වීම ඉතාමත් වැදගත් කාරණයක්.
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) මෑත කාලීන පර්යේෂණවලින් පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ කාන්තා ආර්ථික දායකත්වය පසුගිය වසරවලදී ආසන්න වශයෙන් 30% දක්වා පහත වැටී ඇති බවයි.
මෙම අගය මූලික වශයෙන් කාන්තාවන්ගේ ශ්‍රම දායකත්වයේ ප්‍රමාණය පෙන්වන බව අපි පිළිගත යුතුයි.
මෙම අගයට වැටුපක් නොලබා සිදු කරන ගෘහස්ථ ශ්‍රමය සඳහා ඔවුන්ගේ දායකත්වයේ ප්‍රමාණය ඇතුලත් වන්නේ නැහැ.
මෙම කාර්යයන් ප්‍රධාන වශයෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ වගකීම් අවතක්සේරු කරන්නක් වනවා.
කාන්තාවන් විසින් සිදු කරනු ලබන වැටුප් නොලබන කාර්යයන් හා රැකවරණය සැලසීම් කටයුතු පිළිබඳවත් සලකා බැලීම අත්‍යවශ්‍යයි” යැයි ප්‍රකාශ කළා.
ලංකාවේ ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 9.3% දක්වා වැඩි වීම පිළිබඳව තමන් නිහතමානීව ආඩම්බර වෙන බවත්, මෙම ධනාත්මක වෙනස වඩාත් පුළුල් සහ සියල්ලන් අන්තර්ගත කෙරෙන පාලන ක්‍රමයක් ගොඩනැංවීම සඳහා සහය වන කාන්තා හඬට සවන් දීමක් වන බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා.