බදුල්ල බන්ධනාගාරයට අනුයුක්තව සේවය කරන බන්ධනාගාර නියාමකවරයෙකු 05 වන දින රාත්රී රාජකාරියෙන් පසු ඊයේ (06) වන දින පෙරවරු 07.00ට පමණ රාජකාරී නිමා කොට පිටවගොස් තිබෙනවා.
එදින පෙරවරු 08.00 ට පමණ යම් පුද්ගලයෙකු විසින් මෙම නිලධාරියාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබා දෙමින්, බදුල්ල බන්ධනාගාරයේ සේවය කරන නිලධාරීයෙකු හල්පේ ප්රදේශයේ රිය අනතුරකට ලක්වී ඇති බවත් හැකි ඉක්මනින් එම ස්ථානයට පැමිණෙන ලෙස පවසා තිබෙනවා.
ඒ අනුව, මෙම නිලධාරීයා අදාල ස්ථානයට ගොස් ඇති අතර, එම අවස්ථාවේදී පුද්ගලයින් 04දෙනෙකු විසින් නිලධාරීයාට පිහියකින් හා හෙල්මටයකින් පහර දී ඇති අතර, නිලධාරියාගේ බෙල්ල, උදර ප්රදේශයේ කැපුම් තුවාල හා හිස ප්රදේශයට තුවාල සිදු වී ඇති බව බන්ධනාගාර නිලධාරිවරියෙක් සඳහන් කළා.
මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ නිලධාරියා දෙමෝදර රජයේ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සදහා බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
මේ වන විට නිලධාරීයාගේ ආරක්ෂාව සඳහා බදුල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ පොලිස් ආරක්ෂාව හා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ බදුල්ල මහ රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබමින් සිටිනවා.
මේ සම්බන්ධව පසුගිය වසරේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීම මත රක්ෂිත බන්ධනාගාර ගත කර පසුව නිදහස් වු පුද්ගලයෙකු පිළිබඳ සැක පල කරන අතර, සිදුවීම සම්බන්ධයෙන් ඇල්ල පොලිස් ස්ථානය වෙත කළ පැමිණිල්ල අනුව විමර්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර, බදුල්ල බන්ධනාගාරය මගින්ද විමර්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.