ආනයනික සහල් වෙළඳුන් ඉල්ලුම් කරන ප්‍රමාණයටම තමන්ට ලබාදිය හැකි බව පිටකොටුව සහල් තොග වෙළඳුන් ප්‍රකාශ කරනවා.
මහා පරිමාණ වී මෝල් වලින්, සහල් තොග නිකුත් කිරීම අඛණ්ඩවම සිදුවනවා.
පසුගිය දින 7ක කාලය තුළ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් වෙළඳපොලට සහල් කිලෝග්‍රෑම් අසූදෙලක්ෂ එකොළොස්දහසක් වෙළඳපලට නිකුත් කර තිබෙනවා.
දිස්ත්‍රික්කයේ මහ පරිමාණ වී මෝල්වල රදවා සිටින පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සහල් මෙසේ වෙළඳපලට මුදා හැරීම සිදුවනවා.
දෛනික ජාතික සහල් අවශ්‍යතාවෙන් සියයට විසිපහක්ම පොළොන්නරුවෙන් සපයනවා.
පුත්තලම දිස්ත්‍රික්කයේ ඇති සහල් අලෙවි කරන ව්‍යාපාරික ස්ථාන පරීක්ෂා කිරීමේ වැඩසටහනක් පාරිභෝගික සේවා අධිකාරිය ආරම්භ කළා.
මේ අනුව පුත්තලම, මුන්දලම සහ ආරච්චිකට්ටුව යන ප්‍රදේශවල සහල් අලෙවි සැල් පරීක්ෂා කර තිබෙනවා.
වැඩි මිලට සහල් අලෙවි කිරීම හා තොග සඟවා තැබීම යන චෝදනාව යටතේ එහිදී ව්‍යාපාරිකයින් 12 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා.
වැලිමඩ හා කැප්පෙටිපොල නගරවල සතොස ශාඛා හරහා රජයේ පාලන මිලට සහල් අලෙවි කිරීම සාර්ථකව සිදුවනවා.
ප්‍රධාන පෙලේ සහල් නිෂ්පාදකයන් පසුගිය 9 වනදා සිට ඊයේ (14) දිනය දක්වා සතොස ආයතනයට සහල් කිලෝ ග්‍රෑම් 771,000ක් ලබාදී තිබෙනවා.
තවත් කිලෝ ග්‍රෑම් 614,000ක් ඔවුන් ලබාදීමට නියමිතයි. ඒ සහල් කිලෝ ග්‍රෑම් දහතුන්ලක්ෂ අසූපන්දහසක් සතොසට ලබාදීමට ඇති කර ගත් එකඟතාවට අනුවයි.
මේ අතර ඊයේ (14) දිනයේ දී ප්‍රධාන පෙළේ සහල් නිෂ්පාදන ආයතනවලින් සහල් කිලෝග්‍රෑම් දොළොස් ලක්ෂ තිස්හත්දහස් අටසිය අනූහයක් වෙළදපලට නිකුත් කළා. නාඩු සහල් කිලෝග්‍රෑම් 669,101ක් සම්බා කිලෝග්‍රෑම් 118,395ක් හා කීරි සහල් 450,400ක් මෙයට ඇතුළත්.
කෑගල්ල නගරයේ සිදුකළ හදිසි වැටලීමකදී සුපිරි වෙළෙදසැලක සඟවා තිබූ සහල් තොගයක් සොයා ගැනීමට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් සමත්වුණා.
කීරි සම්බා සහල් පාලන මිලට වඩා වැඩි මුදලකට ද මෙහිදී අලෙවි කර තිබෙනවා.
මෙම වැටලීමේදී මිල සඳහන් නොකර ඇසුරුම්කර තිබූ සහල් තොගයක් ද සොයා ගත්තා. මෙම නීති විරෝධී කටයුතුවල නිරතවූ ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගැනීමට කෑගල්ල පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් ක්‍රියාකළා.