ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති මියොන් ලී (Miyon Lee) මහත්මිය පසුගියදා පාර්ලිමේන්තුවේදී කථානායක,ආචාර්ය අසෝක රන්වල මහතා හමුවී තිබෙනවා .
මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද එක්ව සිටි බවයි සඳහන් වන්නේ .
මෙම හමුවේ දී කථානායකවරයා වෙත කොරියානු තානාපතිවරිය සිය සුබ පැතුම් එක් කර තිබෙනවා .
දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සබඳතාව පිළිබඳව සිහිපත් කළ කොරියානු තානාපතිවරිය ඉදිරියටද එම සම්බන්ධතා ශක්තිමත්ව පවත්වාගෙන යමින් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අවශ්‍ය සහාය ලබාදෙන බවයි ප්‍රකාශ කර ඇත්තේ .
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ව්‍යාපෘති සක්‍රීය කරමින්, නව රජය සමග සාකච්ඡා කර එම ව්‍යාපෘති වැඩකටයුතු කඩිනමින් අවසන් කිරීමට අපේක්ෂා කරන බව ඇය වැඩි දුරටත් අදහස් දක්වමින් පවසා සිටියා .
ඒ අතර මහනුවර උමං මාර්ග ( Kandy Tunnel )ව්‍යාපෘතියේ වැඩ කටයුතු ආරම්භ කිරීම අවසන් අදියරේ පවතින බවයි ඇය පෙන්වා දුන්නේ .
තවද දෙරටේ පාර්ලිමේන්තු අතර සබඳතා ශක්තිමත් කිරීමටත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා නායකත්ව සහ ධාරිතා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් බලාපොරොත්තු වන බව වැඩිදුරටත් අදහස් දක්වමින් කොරියානු තානාපතිවරිය පවසා සිටියා .
මෙහිදී අදහස් දක්වමින් කථානායකවරයා, ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා දකුණු කොරියාවේ සහාය අපේක්ෂා කරන බවද ප්‍රකාශ කරන බව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා .