සහල් ව්‍යාපාරිකයන් පිළිබඳ ඉදිරි දින 10 තුළ තමා දැඩි අවධානයෙන් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (07) අවධාරණය කළා.
ලබාදුන් උපදෙස් අනුව ක්‍රියා නොකරන සහල් මෝල් හිමියන්ට දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.
මේ අතර ජනාධිපතිවරයා ලබාදුන් උපදෙස් මත පොළොන්නරුව සහ හම්බන්තොට සහල් ගබඩා පරීක්ෂා කිරීමට පාරිභෝගික අධිකාරිය අද (08)කටයුතු කළා.
එහි ප්‍රතිඵලයක් ලෙස සහල් තොග නිදහස් කිරීම හේතුවෙන් වෙළඳපලට සහල් තොග ලැබුණු බවයි වෙළඳුන් ප්‍රකාශ කළේ.
මහා පරිමාණ සහල් මෝල් හිමියන් පාලන මිලට සහල් ලබාදෙන ලෙස තමන්ට දුරකතනයෙන් දැනුවත් කළ බවද සහල් වෙළඳ සැල් හිමියන් පවසනවා.
වෙළදපොලේ පවතින සහල් තත්ත්වය පිළිබද සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා ඊයේ (07) සාකච්ඡාවක් පැවැත්වූවේ ඒ සඳහා විසදුම් ලබාගැනීමේ අරමුණෙන්.
වෙළෙද, වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාශයේ නිලධාරීන් හා සහල් ව්‍යාපාරිකයින් එම සාකච්ඡාවට සහභාගි වුණා.
එහිදී ජනාධිපතිවරයා ව්‍යාපාරිකයින්ට උපදෙස් ලබාදුන්නේ නාඩු සහල් කිලෝවක් රුපියල් 225ක තොග මිලටත්, රුපියල් 230ක සිල්ලර මිලටත් ජනතාවට ලබාදිය යුතු බවටයි.
එමෙන්ම සුදු කැකුළු කිලෝවක තොග මිල රුපියල් 215ක් සහ සිල්ලර මිල රුපියල් 220ක් ලෙස මිල නියම කෙරුණා.
ආනයනික නාඩු සහල් කිලෝවක සිල්ලර මිල වන්නේ රුපියල් 220ක්. සම්බා කිලෝවක තොග මිල රුපියල් 235ක් වන අතර සිල්ලර මිල රුපියල් 240ක්.
කීරි සම්බා කිලෝවක තොග මිල රුපියල් 255ක් වන අතර සිල්ලර මිල රුපියල් 260ක් වනවා.
වී මිලදී ගැනීම සඳහා ව්‍යාපාරිකයන්ට අඩු පොලී පහසුකම් යටතේ බැංකු ණය ලබා දී ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.
එබැවින් ජනතාවගේ සහල් අයිතියට අත නොතබන ලෙසද ජනාධිපතිවරයා ව්‍යාපාරිකයන්ට අවධාරණය කළා.
මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ දෛනිකව සහල් මෝල් වලින් පිටවන සහල් කිලෝ ප්‍රමාණය ගණනය කිරීමට ද පාර්භෝගික අධිකාරිය කටයුතු කළ යුතු බවටයි.
ඒ අනුව පොළොන්නරුව සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල සහල් මෝල් සහ ගබඩා පරීක්ෂා කිරීමට කටයුතු කෙරුණා.
පොළොන්නරුව මහා පරිමාණ සියලුම සහල් නිෂ්පාදන ආයතන පරීක්ෂා කිරීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය නිලධාරීන් යොමුකර තිබුණා.
සහල් මෝල්වල දැනට පවතින තොග වෙළෙදපොලට නිකුත් කරන සහල් ප්‍රමාණය මෙන්ම සහල් මෝල්වල දෛනිකව නිෂ්පාදනය කරන සහල් තොග පිලිබද සියලුම වාර්තා ලබා ගැනෙනවා.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම, පන්නේගමුව හා දෙබරවැව ප්‍රදේශවල පිහිටි මහා පරිමාණ සහල් මෝල් ගබඩා පරීක්ෂා කිරීම ද අද සිදුකෙරුණා.
එම ගබඩාවල තිබී වී කිලෝග්‍රෑම් ලක්ෂ 20ට ආසන්න ප්‍රමාණයක් සහ සහල් කිලෝ ලක්ෂ දෙකකට වැඩි තොගයක් සොයාගත් බවයි පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් පැවසුවේ.
පාලන මිලට යටත්ව එම තොග සියල්ල වෙළදපොලට නිකුත් කිරීමට ද එම නිලධාරීන් උපදෙස් ලබාදුන්නා.
මේ අතර පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසන්නේ වී තොග රැස්කර ගනිමින් ඒවා වෙළදපොලට නිකුත් නොකිරීම සම්බන්ධයෙන් 1977 අංකයට තොරතුරු ලබාදෙන ලෙසයි.
ලබන සතිය වනවිට හිඟයකින් තොරව සහල් වෙළදපොලට නිකුත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවද එම අධිකාරිය පවසනවා.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත පාරිභෝගික අධිකාරිය සහල් මෝල් ගබඩා පරීක්ෂා කිරීමත් සමග සහල් තොග වෙළදපොලට නිකුත් කර ඇති බව සහල් වෙළදසැල් හිමියන් පවසනවා.
දඹුල්ල නගරයේ වෙළදසැල් හිමියන් පවසන්නේ පාලන මිල යටතේ සහල් ලබාදෙන ලෙස මහා පරිමාණ සහල් මෝල් හිමියන් දුරකතන වලින් තමන්ට දැනුම් දුන් බවයි.
එමෙන්ම සතොස මගින් සහල් ලබාදීමේ කටයුතු ද අඛණ්ඩව ක්‍රියාත්මක වනවා.
ඇතැම් පිරිසක් එක්ව වෙළදපල තුළ සහල් සදහා කෘත්‍රිම මිලක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළ බිද දැමීමට රජය සිදුකළ මැදිහත්වීම පාර්ශ්ව රැසකගේ ඇගයීමට ද ලක්වුණා.
මේ අතර ජනතාවට හිඟයකින් තොරව සහල් ලබාදීම සඳහා කළ හැකි සියලු මැදිහත්වීම් රජය අනිවාර්යයෙන් සිදුකරන බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.