උත්සව සමය නිමිත්තෙන් මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන නගර ආශ්‍රිතව අලෙවි කරනු ලබන ආහාරපාන පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
උත්සව සමය ඉලක්ක කර ගනිමින් නිෂ්පාදනය කරනු ලබන ආහාරවල ප්‍රමිතිය, යොදා ගන්නා අමුද්‍රව්‍ය , මිල සහ බර පිළිබඳ පරීක්ෂාවට ලක් කෙරෙන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ.
මෙම වැඩපිලිවෙළ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 1750ක පමණ පිරිසක් අනුයුක්ත කර තිබෙනවා.
එසේම දෙසැම්බර් පළමුවනදා සිට මේදක්වා කාලය තුළ දී දිවයින පුරා සිදුකරන ලද වැටලීම් සංඛ්‍යාව 150කට වැඩි බවයි වාර්තා වන්නේ.
මේ අතර උඩරට එළවලුවල මිල සැලකිය යුතු ලෙස පහළ බැස තිබෙනවා.
අයහපත් කාලගුණය හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ එළවළු මිල තරමක ඉහළ අගයක පැවතුණා.
උඩරට එළවලු රටපුරා බෙදා හරින ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානය වන කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ නව එළවළු මිල ගණන් මෙසේයි.
බෝංචි කිලෝවක තොග මිල රුපියල් 800සිට 400 දක්වා අඩුවී තිබෙනවා.
රුපියල් 350ක්ව පැවති තක්කාලි කිලෝවක තොග මිල 140 දක්වා ද පහත බැස තිබෙනවා.
මේ හේතුවෙන් වෙළෙඳුන් වැඩි වශයෙන් කැප්පෙටිපොල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන බවයි වෙළෙඳුන් පවසන්නේ.
මෙම තත්ත්වය උත්සව සමය තුළදී එලෙසම පවතිනු ඇති බවයි වෙළෙඳුන් පවසන්නේ.
මේ අතර උත්සව සමයට අවශ්‍යකරන බිත්තර සහ කුකුළු මස් කිසිදු හිඟයකින් තොරව සැපයිය හැකි බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා.
මිලද දැනට පවතින අගයේම පවතිනු ඇති බවයි එම සංගමය පවසන්නේ.