කන්තලේ සීනි කර්මාන්ත ශාලාව සෑම රජයකදීම කතා බහට ලක්වෙච්චි ආයතනයක්.
හැබැයි තවමත් ඒ කර්මාන්ත ශාලාවේ උන්නතියට යමක් උනාද යන්න සැක සහිතයි.
කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුව මේ සඳහා නව පියවරක් ගෙන තිබෙනවා.
ඒ කන්තලේ සීනි කර්මාන්ත ශාලාවට අයත් අක්කර එකොළොස් දහසක භූමි ප්රමාණයක් වාර්ෂික අවසර පත්රයක් යටතේ නිසි ක්රමවේදයකට අක්කරයක සිට අක්කර පහක් දක්වා ගොවි ජනතාව වෙත බෙදා දීමයි.
එක් එක් රජයන් යටතේ මෙම සීනි කර්මාන්ත ශාලාව නගා සිටුවන බවට සහතික වුවත් තවමත් එහි කිසිදු නගා සිටුවීමක් හෝ ප්රතිසංස්කරණයක් පේන්නට නැහැ.
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ පාලන සමයේ මෙරට සීනි නිශ්පාදනය සඳහා කර්මාන්ත ශාලා ආරම්භ කෙරුණා.
එහෙත් විවෘත ආර්ථිකයත් සමග මේ සියල්ල කණපිට පෙරළුනා.
සමස්ත භූමි ප්රමාණයෙන් හෙක්ටයාර් 164ක සීනි කම්හල හා නිල නිවාස සංකීර්ණ ඉදිකර තිබුණා.
එවකට මෙහි දිනකට මෙට්රික් ටොන් 1200 ක් ඇඹරීමේ ධාරිතාවක් පැවතුණා.
දිනකට ඇඹරුම් වාර 160ක් තුළ උක්ගස් මෙට්රික් ටොන් එක්ලක්ෂ අනූ දෙදහසක් ඇඹරීමෙන් සීනි මෙට්රික් ටොන් 16320ක් නිෂ්පාදනය කිරීමට හැකියාවද පැවතුණා.
එහෙත් දැනට වසර විසිපහක සිට මෙම සීනි කර්මාන්ත ශාලාවෙන් නිශ්පාදන කටයුත්තක් සිදුවන්නේ නැහැ.
මේ වන විටත් කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ පැවති වත්කම් අයිතිය ද රජයෙන් ඉවත්වී තිබෙනවා.
එවන් පසුබිමක වත්මන් රජය යළිත් මෙම දේශීය කර්මාන්තය නගා සිටුවීමට විධිමත් වැඩපිළිවෙලක් ක්රියාවට නැංවීමට සැලසුම් කළා.
ඒ අනුවයි මුඩුබිම් බවට පත්ව ඇති මෙම ඉඩම් සුදුසු ගොවීන්ට ලබාදී යළි උක් වගාව ආරම්භ කිරීමට සැලසුම් කර ඇත්තේ.