අයහපත් කාලගුණයෙන් පවුල් එක්ලක්ෂ හතලිස්එක්දහස් දෙසිය හැටඅටකට පීඩා එල්ල වී තිබෙනවා.
පුද්ගලයන් තිස්දෙදහස් තුන්සිය හැටඑක්දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථාන 366ක තවදුරටත් රඳවා සිටිනවා.
ජල ගැලීම් හා නායයාම් හේතුවෙන් නිවාස 101කට පුර්ණ හානි සිදුවුණා.
නිවාස 2591කට අර්ධ හානි සිදුව තිබෙනවා.
බොහෝ ජලාශ තවදුරටත් වාන් දමමින් පවතිනවා.
මහවැලි බී කලාපයේ වම් ඉවුරට අයත් වැව් 85ක් අතුරින් ප්‍රධාන වැවක් වන පිඹුරත්තෑව ජලාශය ද වාන් දමමින් පවතිනවා.
ලැබ්රික් තාක්ෂණයට අනුව මෙරට දිගින් වැඩිම පිටවානක් සහිතව ඉදි වූ ජලාශයක් ලෙසටයි පිඹුරත්තෑව සැලකෙන්නේ.
මෙයින් නිකුත් කරන ජලය කුඩා ඔය හරහා මාදුරු ඔය ජලාශයට එක්වනවා.
අධික වර්ෂාව හේතුවෙන් මෙම කලාපයට අයත් වැව් 85ම පසුගිය දිනවල දී වාන් දැමූ බවයි මහවැලි බී කලාපයේ නියෝජ්‍ය නේවාසික කළමනාකාර ඉංජිනේරු ඊ කේ ඩී තෙන්නකෝන් මහතා පවසන්නේ.
කෙසේ වුවද පරාක්‍රම සමුද්‍රය සහ කවුඩුල්ල ජලාශයේ වාන් දොරටු මේ වන විට වසා දමා තිබෙනවා.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා පොලොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති තත්ත්වය පිළිබඳව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතා සමග සොයා බැලුවා.
සුරක්ෂිත මධ්‍යස්ථානවල සිටින ජනතාව ද හමුවී තොරතුරු සොයා බලා තිබෙනවා.