මහනුවර දිස්ත්‍රික්කයේ ආපදා කළමණාකරණය සඳහා කඩිනම් විසදුම් යොදන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අභයකෝන් මහතා පවසනවා.
අධික වර්ෂාව, සුළං හා කණ්ඩි කඩා වැටීම් හේතුවෙන් සිදුව ඇති ආපදා කළමණාකරණය කර ගැනිම සඳහා කෙටි කාලීන විසදුම් ද එවැනි ආපදා ඉදිරියේදී සිදුවීම අවම කර ගැනීම සඳහා දීර්ඝ කාලීන විසදුම් ද යොදන බවයි ඒ මහතා පැවසුවේ.
ආණ්ඩුකාරවරයා මෙම අදහස් පළ කරන ලද්දේ මහනුවර දිස්ත්‍රික්කයේ ආපදා කළමණාකරණය කර ගැනීම නිමිත්තෙන් මහනුවර දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (28) පැවැති විශේෂ සාකච්ඡාවට එක් වෙමින්.
අවහිරවී ඇති මාර්ග 30ක පමණ අවහිරතා මේ වන විට ඉවත් කොට ඇති අතර එවැනි ස්ථාන හදුනා ගැනීම මගින් ඉදිරි ආපදා වැළැක්විම සම්බන්ධයෙන් මෙහිදී සාක්ච්ඡා වී තිබෙනවා .
අකුරණ නගරය තුළ සිදුවන ගං වතුර තත්ත්වය ඉදිරියේදී පාලනය කර ගැනිම සඳහා විසදුම් යොදන බවට ද මෙහිදී සාකච්ඡා වී තිබෙන්නේ .
මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 307ක සාමාජික සාමාජිකාවන් 1297ක් මේ වන විට ආපදාවන්හි බලපෑමට ලක්වී සිටින අතර අවතැන් වූ පවුල් 193ක් දැනට ඔවුන්ගේ ඥාති නිවාසවල තාවකාලිකව රඳවා සිටින බව මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් නිලූකා බුලත්ගේ මහත්මිය මෙම සාකච්ඡාවේදී සඳහන් කර තිබෙනවා .
ඉකුත් දින හතරක කාලය තුළ සිදුවූ ආපදා නිසා මහනුවර දිස්ත්‍රික්කයේ මරණ වාර්තා නොවුණත් තුවාල සිදුවීම් 03ක් සිදුව ඇති බවද බුලත්ගේ මහත්මිය පවසා සිටියා .
නිවාස 08ක් පූර්ණ හානියට පත්වී ඇති අතර නිවාස 220ක් අර්ධ හානියට ලක්වී ඇති බවයි ඇය සඳහන් කළේ .
මාර්ග හානි හා අවහිරවීම් 30ක් ගොඩනැගිලි හානි 05ක් සහ ඇළ මාර්ග අවහිරවීම් 10ක් මහනුවර දිස්ත්‍රික්කය තුළ වාර්තාවී ඇති අතර ආපදා කළමණාකරණය වෙනුවෙන් දැනට ඇති රුපියල් ලක්ෂ 02ක මුදලට අමතරව තවත් රුපියල් මිලියන 01ක ප්‍රතිපාදන අමාත්‍යංශයෙන් ඉල්ලා ඇති බවත් ඉකුත් වර්ෂයේ දෙසැම්බර් සිට මේ දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස හානි වෙනුවෙන් රුපියල් මිලියන 20ක මුදලක් අවශ්‍ය බවට අමාත්‍යංශයෙන් ඉල්ලුම් කර ඇති බව ද අතිරේක දිස්ත්‍රික් ලේකම් නිලුකා බුලත්ගේ මහත්මිය සඳහන් කර සිටියා
අතිරේක දිස්ත්‍රික් ලේකම්වරිය ඉදිරිපත් කළ දත්තවලට අමතරව ඊයේ (27) රාත්‍රී හා අද සිදුව ඇති ආපදා පිළිබඳව එහිදී තොරතුරු ලබා ගත් අතර මහනුවර දිස්ත්‍රික්කයේ ආපදා හේතුවෙන් පීඩාවට පත්වූවන් සඳහා පානීය ජලය ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී පළාත් පාලන ආයතන වෙත උපදෙස් ලබාදීම ද ආණ්ඩුකාරවරයාගේ මැදිහත්වීමෙන් සිදුකර තිබෙනවා .