එංගලන්තයේ ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රීලංකන් ගුවන්යානයක ගමන්ගත් මගී කාන්තාවකගේ අත්බෑගය සොරා ගත් ගණකාධිකාරීවරයෙකු කටුනායක ගුවන්තොටුපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ කාන්තාව එංගලන්තයේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි දැනට එංගලන්තයේ වෙසෙන, ශ්‍රී ලංකාවේ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි තැනැත්තියක්.
ඇය ඊයේ (26) ලන්ඩන් නුවර සිට ශ්‍රීලංකන් ගුවන්සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඇයගේ අත්බෑගය තුළ රුපියල් 14 ලක්ෂ 23,500ක් පමණ වටිනා ස්ටර්ලින් පවුම් 2,700ක්, ඇපල් ජංගම දුරකථන 02ක් සහ සැම්සුන්ග් වර්ගයේ ජංගම දුරකථන 02ක් තිබූ බව සඳහන්.
මෙම ගුවන්යානය ගුවන්ගතවී මද වේලාවකින් පසුව, මෙම අත් බෑගය නැතිවී ඇති අතර, ඒ පිළිබඳව ශ්‍රීලංකන් ගුවන්යානා කාර්යමණ්ඩලය වෙත අදාළ කාන්තාව පැමිණිලි කර තිබුණා.
මේ පිළිබඳ ගුවන්යානය තුළ සොයා බැලීම් සිදුකළ ද, එය සොයා ගැනීමට හැකිවීම හේතුවෙන් ඒ පිළිබඳව ගුවන්යානයේ නියමුවා කටුනායක ගුවන්තොටුපොළ ශ්‍රීලංකන් ගුවන්සේවයේ විමර්ශන නිලධාරීන් වෙත දැනුම්දී තිබෙනවා
අදාළ ගුවන්යානය කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්වූ පසු ශ්‍රීලංකන් ගුවන්සේවයේ විමර්ශන නිලධාරීන් විසින් කටුනායක ගුවන්තොටුපොළ පොලීසිය සමග එම ගුවන්යානයෙන් පැමිණි ගුවන්මගීන් සහ ඔවුන්ගේ ගමන් මලු දැඩිව පරීක්ෂා කර තිබුණා.
එහිදී මෙම නැතිවූ අත් බෑගය ශ්‍රී ලංකාවේ යාපනය ප්‍රදේශයේ පදිංචිව සිටි, කැනඩාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි 60 හැවිරිදි පුද්ගලයෙකු සන්තකයේ තිබී සොයා ගෙන තිබෙනවා.
ඒ වනවිටත් ඔහු, සොරාගෙන තිබූ ස්ටර්ලින් පවුම් භාවිත කර ගුවන්යානය තුළ අලෙවි කරන මන්පැන් බෝතල් 06ක් සහ සුවඳ විළවුන් බෝතල් 03ක් මිලදී ගෙන ඇති අතර ඉතිරි ස්ටර්ලින් පවුම් ප්‍රමාණය සහ ජංගම දුරකථන ද එම අත් බෑගයෙහි තිබී සොයා ගෙන තිබෙනවා.
ඒ අනුව සැකකාර ගුවන් මගියාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.