කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ
( Central Jail of Kuwait ) මත්ද්‍රව්‍ය චෝදනාවලට සිර දඩුවම් විදිමින් සිටින ශ්‍රී ලාංකික සිරකරුවන් 104 දෙනෙකු අතරින් 32 දෙනෙකු , ඉතිහාසයේ පළමු වතාවට , කුවේට් රාජ්‍යයේ සිට විශේෂ ගුවන් යානකින් කටුනායක ගුවන් තොටුපොළ වෙතට අද (25) දින පස්වරුවේ පැමිණ තිබෙනවා .
මෙම ශ්‍රී ලාංකිකයන් කුවේට් රාජ්‍යය තුළ භයානක ඝනයේ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම , වෙළෙඳාම් සහ ජාවාරම් කිරීම සහ ප්‍රවාහනය කිරීම යන චෝදනා යටතේ එරට ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර වැරදිකරුවන් වූ පිරිසක් .
මොවුන් අතරින් කොටසක් ශ්‍රී ලංකාවට එවීම සඳහා ඉකුත් මාර්තු මාසයේ සිට කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාන්දීපන් බාලසුබ්රමනියම් මහතා ප්රයත්න දරා තිබුණ බවයි සඳහන් වන්නේ .
පසුව කුවේට් රාජ්‍යයේ රජතුමා සහ එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සමඟ ශ්‍රී ලංකා තානාපතිවරයා පැවති සමීප සබඳතා උපයෝගී කර ගනිමින් සහ ඔවුන් සමඟ මේ පිළිබඳ සාකච්ඡා වට ගණනාවක් සිදු කිරීමෙන් අනතුරුව , මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස මෙරටට එවීම සඳහා කුවේට් ගුවන් හමුදාව සතු විශාලතම සී.- 17 වර්ගයේ ගුවන් යානයක් නොමිලේ ලබා ගැනීමට සමත් වී තිබෙනවා .
මෙම ශ්‍රී ලාංකික සිරකරුවන් ශ්‍රී ලංකාවට භාර දීමට පියවර ගෙන තිබුණ ද එම සිරකරුවන් හුවමාරු ගිවිසුම යටතේ මෙරට සිර දඩුවම් විදිමින් සිටින කුවේට් සිරකරුවන් කිසිවෙකු නොසිටීම විශේෂත්වයක් .
මෙම ශ්‍රී ලාංකික සිරකරුවන් රැගත් විශේෂ ගුවන් යානයේ පිටත්වීම නිරීක්ෂණය කිරීම සඳහා කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරයා කුවේට් සිටි ගුවන් හමුදා කදවුර වෙත අද (25) දින අලුයම ගොස් සිටි අතර , මෙම ගුවන් යානය එරට වේලාවෙන් උදෑසන 07.06 ට කටුනායක ගුවන් තොටුපොළ බලා පිටත් වී තිබෙනවා .