කටුවන ප්රදේශයේ 2012 වසරේදී පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට කඩාවැදී වෙඩි තබා පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කර තවත් අයකුට මරණීය තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු බවට තීරණය කරමින් තංගල්ල මහාධිකරණය මඟින් ජී.ජී. අමරසිරි හෙවත් “ජූලම්පිටියේ අමරේ” නමැත්තාට නියම කර ඇති මරණීය දඬුවම අභියාචනාධිකරණය මඟින් ඊයේ තහවුරු කෙරුණා.
තමන්ට මරණ දඬුවම නියම කළ මහාධිකරණ තීන්දුව බල රහිත කර තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා විත්තිකාර ජුලම්පිටියේ අමරේ නමැත්තා විසින් ගොනු කළ අභියාචනා පෙත්සමක් ප්රතික්ෂේප කරමින් අභියාචනාධිකරණය මඟින් මෙම මරණ දඬුවම අනුමත කර තිබෙනවා.
විනිසුරු පී. කුමාරන් රත්නම් මහතාගේ එකඟත්වය ඇතිව අභියාචනාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා මෙම තීන්දුව විවෘත අධිකරණය හමුවේ ප්රකාශයට පත් කළා.
2012 වසරේ ජුනි මස 15 වැනිදා කටුවන ප්රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට කඩාවැදී වෙඩි තබා පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කර තවත් අයකුට මරණීය තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් ජුලම්පිටියේ අමරේ නමැත්තාට එරෙහිව අධිචෝදනා ඉදිරිපත් කරමින් තංගල්ල මහාධිකරණය හමුවේ මෙම නඩුව ගොනු කර තිබුණා.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුට එරෙහි චෝදනාව පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බව තීරණය කළ තංගල්ල මහාධිකරණය ඔහුට මරණ දඬුවම නියම කර තිබෙනවා.
එම මරණ දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ජුලම්පිටිය අමරේ විසින් සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබිණි
මහාධිකරණ නඩු විභාගයේදී විත්ති පාර්ශ්වය විසින් ඉදිරිපත් කළ සාක්ෂි විනිසුරුවරයා විසින් සැලකිල්ලට නොගත් බවට එම පෙත්සම ඇපෑල මඟින් විත්තිකරු විසින් ප්රකාශ කර තිබුණා.
ඒ අනුව තමන්ට සාධාරණ නඩු විභාගයක් හිමි නොවූ බැවින් එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙසත් විත්තිකරු මෙම පෙත්සම මඟින් ඉල්ලා සිටියා.
එම පෙත්සම සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමෙන් අනතුරුව එහි තීන්දුව ලබා දෙමින් අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල සඳහන් කළේ මහාධිකරණය මඟින් විත්තිකාර අභියාචකට පනවා ඇති මරණීය දණ්ඩනය සම්බන්ධයෙන් මැදිහත්වීම් සිදු කිරීමට තරම් හේතුවක් නැති බවයි.
ඒ අනුව ඊට තම අධිකරණය මැදිහත් වීමට අපේක්ෂා නොකරන අතර විත්තිකරුට නියම කර ඇති මරණ දඬුවම තහවුරු කරන බව අදාළ තීන්දුව ප්රකාශ කරමින් අභියාචනාධිකරණය සඳහන් කළා.
අභියාචනා පෙත්සම ප්රතික්ෂේප කරන බවයි අදාළ තීන්දුව ප්රකාශ කරමින් අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල වැඩිදුරටත් සඳහන් කළේ.