අප රටේ බදු ගෙවන ජනතාවගේ සෑම රුපියලකටම වග කියන ආකාරයෙන් කටයුතු කරමින් කර්මාන්තකරුවන් සහ මහජනතාව ගෙවන බදු වලට සැබෑ සාධාරණයක් ඉටු කිරීමට කටයුතු කරන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ඊයේ (19) පස්වරුවේ කර්මාන්ත අමාත්‍යාංශයේදී සිය තනතුරේ රාජකාරී ආරම්භ කරමින්.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසින් කාරක සභා රැසක් නියෝජනය කළ සුනිල් හඳුන්නෙත්ති මහතා රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්) සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබෙනවා.
එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ කුඩා හා ග්‍රාමීය කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කර ඇති මාතර දෙනියායේ උපන් හඳුන්නෙත්ති මහතා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද අතර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන උපාධිධාරියෙක්.
ජනතා විමුක්ති පෙරමුණේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයෙකු වන ඔහු එහි දේශපාලන මණ්ඩල සභිකයෙක්ද වෙයි.
එසේම මාතර දිස්ත්‍රික්කයේ සංවිධායකවරයාද වන සුනිල් හඳුන්නෙත්ති මහතා ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභිකයෙක් ලෙස කටයුතු කරනවා.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා,
” නව රජයේ ආර්ථික ප්‍රතිපත්තිය තුළ කර්මාන්ත හා ව්‍යවසායකත්වය නඟා සිටුවීමට ප්‍රමුඛතම ස්ථානයක් ලබාදී තිබෙනවා.
වැරදි ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම නිසා පසුගිය කාලයේ කර්මාන්ත ක්ෂේත්රය විශාල වශයෙන් කඩා වැටීමකට ලක් වුණා.
ලාභ ලැබිය හැකි රාජ්‍ය ව්‍යාපාර රැසක් කුණු කොල්ලයට විකුණා දමා තිබුණා.
නමුත් නාස්තිය, දූෂණය, හොරකම හා අකාර්යක්ෂමතාව නිසා කඩා වැටුනු රාජ්‍ය ව්‍යාපාර නඟා සිටුවීමට නව රජය සූදානම්.
රටේ කර්මාන්තකරුවන්ගේ ශක්‍යතාවය හදුනාගෙන, ජනතා සහභාගීත්වය සහිත වැඩපිළිවෙළක් හරහා ලංකාවේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම නව රජයේ අපේක්ෂාවයි.
විශේෂයෙන්ම තරුණ ව්‍යවසායකයින්ගෙන් වැඩි දායකත්වයක් කර්මාන්ත ක්ෂේත්රයට ලබා ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.
එසේම ජනතාවට ප්රතිලාභ ලැබෙන පරිදි නව කර්මාන්ත ආරම්භ කිරීමටත් පවතින කර්මාන්ත ලාභ ලබන තත්වයට රැගෙන ඒමටත් කර්මාන්ත අමාත්‍යවරයා ලෙස මම කටයුතු කරනවා.
මේ වනවිට කර්මාන්තකරුවන් මුහුණ දී තිබෙන ප්රාග්ධනය, අමුද්‍රව්‍ය, වෙළඳපළ, රාජ්‍ය අනුග්‍රහය අවම වීම වැනි හදුනාගත් ගැටළු රැසක් ඉතාමත් ඉක්මනින් විසඳීමට රජය මැදිහත් වෙනවා” යැයි පැවසුවා.
එසේම දේශිය කර්මාන්ත නඟා සිටුවීම මෙන්ම නව ආයෝජන රටට ගෙන ඒමද ශක්තිමත් ආර්ථිකයක් බිහිකිරීමේදී වැදගත් බව පැවසූ අමාත්‍යවරයා විදේශ ආයෝජන විශාල වශයෙන් අප රටට පැමිණීමට නම් අප රටේ බදු ක්‍රමය මීට වඩා සරල විය යුතු බවත් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවෙන බවද වැඩිදුරටත් පැවසුවා.
මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්. නයීමුදීන්, අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් එක්ව සිටියා.