බදුල්ල බන්ඩාරවෙල ප්රධාන මාර්ගයේ දෙමෝදර ගල්වල හා දෙමෝදර ජල පවිත්රාගාරය අතර කොටසක් ඊයේ ( 19 )දින පැවති ධාරානිපාත වර්ශාවත් සමඟ නාය යෑමකට ලක්වී තිබෙනවා .
පැවති වර්ශාව නිසා බදුලු ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ගං ඉවුර නාය යෑමත් සමඟ දුරකථන කනුවක් කඩාගෙන ගොස් ඇති අතර ජල පවිත්රාගාරයට ජල සැපයුම කරන විශාල ජලනලයටද හානි සිදුව අස්ථාවර වී තිබෙන බවයි වාර්තා වන්නේ .
මේ නිසා ඇල්ල සංචාරක පුරවරයට මෙන්ම හාලිඇල දෙමෝදර හා බදුල්ල ඇතුළු ප්රදේශ ගණනාවකට ජල සැපයුම අත්හිටවා තිබෙනවා.
මේ නිසා ජල පරිභෝගකයින් දැඩි අසීරුතාවයට පත්ව තිබෙන බව සඳහන් වෙනවා .
ජල පවිත්රාගාරයට ජලය සපයීම වෙනුවෙන් බදුලු ඔය හරස් කර ඉදිකළ ජලාශය ඉදිකිරීමේදි සිදුව ඇති ගැටලු රාශියක් හේතුවෙන් ජලාශයට ජලය පිරීමේදි ප්රධාන මාර්ගය හා බදුලු ඔය අතර ඉවුර අස්ථාවර වීම නිසා මෙම ප්රදේශයේ දැඩි ලෙස නාය අවධානමක් ඇතිව තිබෙන බවයි ප්රදේශවාසීන් පෙන්වා දෙන්නේ .
ඊයේ රාත්රියේදීම මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරින් මෙම ස්ථානය නිරීක්ෂනය කර රථ වාහන ධාවනය එක් මන්තීරැවකට පමණක් සිමාකරමින් ආරක්ෂිත වැඩ පිළිවෙලක් දියත් කල අතර අද (20) උදෑසන වන විට ජල සම්පාදන මණ්ඩලය විසින් ජල නලය ස්ථාවර කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා .
ජල සැපයුම අද (20) දින සවස් වන විට යථාතත්වයට පත් කළහැකි බවත් එතෙක් ජලය අරපරෙස්සමින් භාවිතා කරන
ලෙසත් ජල සම්පාදන මණ්ඩලය විසින් ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා .