මෑන් යී සුළි කුණාටුව හේතුවෙන් පිලිපීනයේ ඇති වූ විපත් වලින් පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තවත් තුන් දෙනෙකුට තුවාල සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අධික සුළං හැමීම හේතුවෙන් අද අලුයම නුඑවා පළාතේ අම්බගුයෝ හි නාය යෑමක් සිදු වූ අතර නිවසක් කඩා වැටීමෙන් ළමයින් ඇතුළු හත් දෙනෙකු මිය ගොස් ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
අතුරුදන් තවත් තුන් දෙනෙකු සෙවීමට හමුදා භටයන්, පොලිසිය හා ගම්වාසීන් එක්ව මෙහෙයුමක නිරත වනවා.
මෙම සුළි කුණාටුවෙන් හා මීට පෙර ඇති වූ කුණාටු දෙකකින් මිලියනයකට අධික පිරිසක් පීඩාවට පත් ව සිටින බව එරට මාධ්‍ය සඳහන් කළා.
තවත් ලක්ෂ 7කට ආසන්න පිරිසක් සිය නිවෙස්වලින් ඉවත්ව සිටිනවා.
මේ අතර ඇමරිකා ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් මැනිලා අගනුවරදී පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් ජූනියර් මුණගැසී ශෝකය පළ කළ අතර විපතට පත් වූවන් වෙනුවෙන් ඩොලර් මිලියනයක මානුෂීය ආධාර ලබා දෙන බව සඳහන් කළා.