නව රජයේ අභිනව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) දිවුරුම් දුන්නා.
නව රජයේ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ ද මෙතෙක් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ ආචාර්ය හරිනි අමරසූරියයි.
මීට අමතරව මහජන ආරක්ෂක, සෞඛ්‍ය, ජනමාධ්‍ය, කෘෂිකර්ම, බලශක්ති ඇතුළු අමාත්‍යංශ 21ක් සදහා අමාත්‍යවරුන් දිවුරුම්දීම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදුකෙරුණා.
නව රජයේ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ ආචාර්ය හරිනි අමරසූරියයි.
අග්‍රාමාත්‍ය ධුරයට අමතරව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ධුරයේ ද ආචාර්ය හරිනි අමරසූරිය දිවුරුම් දුන්නා.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ විජිත හේරත් මහතායි.
මහාචාර්ය චන්දන අබේරත්න මහතා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ලෙස පත්ව සිටින්නේ නීතිඥ හර්ෂ නානායක්කාර මහතායි.
සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන්නා.
කේ ඩී ලාල්කාන්ත මහතා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස පත්කෙරුණා.
අචාර්ය අනුර කරුණාතිලක මහතා නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.
රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යවරයා ලෙසයි දිවුරුම් දුන්නේ.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ මහාචාර්ය උපාලි පන්නිලගේ මහතායි.
සුනිල් හදුන්නෙත්ති මහතා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත්කර තිබෙනවා.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ආනන්ද විජේපාල මහතායි.
බිමල් රත්නායක මහතා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.
බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස පත්කෙරුණේ මහාචාර්ය හිණිදුම සුනිල් සෙනෙවි මහතායි.
වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කර තිබෙනවා.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා ලෙස පත් කෙරුණේ සමන්ත විද්‍යාරත්න මහතායි.
සුනිල් කුමාර ගමගේ මහතා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.
වෙළද, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා වන්නේ වසන්ත සමරසිංහ මහතායි.
මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.
කම්කරු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතායි.
ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා බලශක්ති අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.
පරිසර අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ වෛද්‍ය ධම්මික පටබැදි මහතායි.