දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළින් වැටී තිබූ බෑගයක තිබුණු රුපියල් හාර ලක්ෂ තිස් පන්දාහක් පමණ මුදල අහුලාභී හිමිකරු සොයා බාරදීමට ආර්ථික මධ්‍යස්ථානයේ කම්කරුවෙකු 16 දින පෙරවරුවේ පියවර ගනු ලැබබුවා.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කම්කරු සංගමයේ සාමාජිකයෙකු වන මොහොමඩ් අන්වර් නමැති කම්කරු මහතාට උදෑසන 9ට පමණ මුදල් බෑගය හමුවී තිබෙනවා.
පසුව ඔහු එම කවරය විවෘත කර බලන අවස්ථාවේදී එහි මුදල් තිබුණු බව දැක කම්කරු සංගමයේ සභාපතිවරයා දැනුවත් කොට තිබුණා.
පසුව ආර්ථික මධ්‍යස්ථාන කම්කරු සංගමයේ සභාපතිවරයා සහ මෙම කම්කරුවා එක්ව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ කළමනාකරු ස තමරසිරි බණ්ඩාර මහතාව දැනුවත් කොට තිබෙනවා.
ඒ අනුව කළමනාකාරවරයා ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති සී.එස් සිරිවර්ධන මහතා සහ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුට මේ බව දැනුවත් කොට තිබුණා.
වෙළඳ සංගමයේ සභාපති සි .එස් සිරිවර්ධන මහතා කළමනාකාරවරයා සමග ආර්ථික මධ්‍යස්ථානය තුළ ක්‍රියාත්මක වන ශබ්ද විකාශන යන්ත්‍ර හරහා මුදල් පසුම්බිය අහුලා ගෙන ඇති බවත් එහි නියම හිමිකරුවෙකු අනන්‍යතාවය පෙන්වා රැගෙන යන ලෙස පැය ගණනාවක් දැනුවත් කොට තිබෙනවා.
උදෑසනක් නවයට පමණ සිදුවීම දැනුම් දුන්නද දහවල් දොළහ පසුවන තුරුත් හිමිකරුවකු පැමිණ සිටියේ නැහැ.
පසුව එළවළු මිලදී ගැනීම සඳහා පැමිණ සිටි පදවිය සිරිපුර ජයන්ති වැව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වූ ඒ .ඩබ්ලිව් . සිරිපාල මහතා ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගම කාර්යාලයට පැමිණ තමන්ගේ මුදල් බෑගය වැටී ඇති බව දැනුවත් කළ බව සභාපතිවරයා සඳහන් කළා.
පසුව මුදල්වල නියම හිමිකරුවාගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමෙන් පසුව එහි තිබූ මුදල ගණන් කොට මුදල් පසුම්බිය අහුලා ගත් ආර්ථික මධ්‍යස්ථාන කම්කරු සංගමයේ සාමාජික මොහොමඩ් අන්වර් මහතා අතින්ම එම ව්‍යාපාරිකයාට මුදල් ටික ලබාදීමට වෙළඳ සංගම් නියෝජිතයන් පියවර ගනු ලැබුවා.
ඔහු සඳහන් කළේ තමන්ට එම මුදල කිසිදු ආකාරයකින් ලැබෙනු ඇතැයි විශ්වාස නොකළ බවයි.
එහෙත් මෙවැනි කම්කරුවන් පිළිබඳව තමාට ඇත්තේ දැඩි සතුටක් බව හෙතෙම සඳහන් කළා.
විශේෂයෙන් මෙම මුදල් පසුම්බිය අහුලා ගත් මොහොමඩ් අන්වර නමැති කම්කරුවා කියා සිටියේ තමන් බෑගය අහුලා ගත් විගස එය විවෘත කිරීමේදී මුදල් බව දැනගත් බවයි.
අන් අයගේ මුදල් තමාට කිසිසේත් අනවශ්‍ය බවත් එම මුදල් හිමිකරුට ලබා දීමට සිත් පහළ වූ බවද මෙම තරුණයා සඳහන් කර තිබෙනවා.
ඒ අනුව තමන් සංගමයේ සභාපතිවරයාට මේ බව දැනුවත් කළේ යැයි ඔහු සඳහන් කළා.