පාකිස්තානය එරට වැසියන්ගේ විදුලි බිල නැවතත් වැඩි කිරීමට සැරසෙනවා.
ඉහළ යන බලශක්ති පිරිවැයට විසඳුමක් ලෙස ඉදිරියේදී පාකිස්තානයේ විදුලි බිල ඉහළ නංවන ලෙස එරට ජාතික විදුලිබල නියාමන අධිකාරියට උපදෙස් ලැබී ඇතැයි පාකිස්තාන ඒආර්අයි පුවත් සේවය වාර්තා කරනවා.
ඒ අනුව ඉදිරියේදී එරට විදුලි බිල වැඩි කිරීමට ජාතික විදුලි බල නියාමන අධිකාරිය සැලසුම් කර ඇති බව සඳහන්.
මේ වන විටත් විදුලි බිල ඉහළ යෑමෙන් දැඩි පීඩනයකට ඇද වැටී සිටින එරට පාරිභෝගිකයන්ට යළි විදුලි බිල වැඩි කිරීමෙන් පාකිස්තාන රුපියල් බිලියන 8.73ක අමතර බරක් දැරීමට සිදුවනු ඇති.
රජයෙන් නිකුත් කළ එම උපදෙස් මත පාකිස්තානයේ ජාතික විදුලිබල නියාමන අධිකාරිය ඉහළ නැංවීමට සැලසුම් කර ඇති නව විදුලි බිල්පත් ගාස්තුවට විදුලි ධාරිතාව සඳහා පාකිස්තාන රුපියල් බිලියන 8.06ක මුදලක් ද, මෙහෙයුම් හා නඩත්තුව සඳහා රුපියල් බිලියන 1.25ක් ද, පද්ධති ගාස්තු හා වෙළෙඳපොළ මෙහෙයුම් ගාස්තු සඳහා රුපියල් බිලියන 1.65ක් ද ඇතුළත්.