ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ 10 වන පාර්ලිමේන්තුව ලබන 21 වනදා රැස්වනවා.
මේ අතර නව පාර්ලිමේන්තුවේ කැබිනට් මණ්ඩලය පත්කිරීම ලබන 18 වනදා සිදුකිරීමට නියමිත බවටයි වාර්තා වන්නේ.
පාර්ලිමේන්තුව රැස්වන පළමු දිනයේ දී විශේෂ කටයුතු ලෙස කතානායකවරයා පත්කර ගැනීම , මන්ත්‍රීවරුන් දිවුරුම්දීම , නියෝජ්‍ය කතානායක හා නියෝජ්‍ය කාරක සභා සභාපති තෝරා පත්කර ගැනීම ප්‍රධාන වශයෙන් සිදුවනවා.
එම දිනයේ දී පාර්ලිමේන්තුවේ ප්‍රධාන වගකීම් දරණු ලබන්නේ පාර්ලිමේන්තු මහ ලේකම්වරිය විසින්.
පළමු දිනයේ දී මන්ත්‍රීවරුන් සඳහා අසුන් පැනවීමේ පිළිවෙළක් නොමැති අතර ඔවුන්ට රිසි අසුනක අසුන්ගැනීමට අවස්ථාව උදාවනවා.
සෙංකෝලය සභාගර්භයේ තැන්පත් කිරීමෙන් පසුව පාර්ලිමේන්තුව රැස්වන දිනය හා වේලාව නියම කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කෙරුණු අති විශේෂ ගැසට් නිවේදනය මහ ලේකම්වරිය විසින් දිනයේ පළමු කාර්ය ලෙස සභාවට ඉදිරිපත් කරනු ලබනවා.
මේ අතර 10වන පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25 , 26 සහ 27 යන දිනවල පැවැත්වෙනවා.
පාර්ලිමේන්තු ක්‍රමවේදය , සභාවේ කටයුතු සහ කාරක සභාවල කටයුතු සම්බන්ධයෙන් මෙහිදී නවක මන්ත්‍රීවරුන් දැනුවත් කරනු ලබනවා.
එමෙන්ම පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් ලියාපදිංචි කිරීමේ කටයුතු ලබන 18 / 19 සහ 20 යන දිනවලදී පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදුකරනු ලබනවා.
මේ අතර ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ වැඩිම කාන්තා මන්ත්‍රීවරියන් සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ මෙවර මහ මැතිවරණයෙන්වීම විශේෂත්වයක්.
මෙහිදී කාන්තාවන් 20 දෙනෙකු මැතිසබයට තේරී පත්වී ඇති අතර ඉන් වැඩි පිරිසක් ජාතික ජන බලවේගය නියෝජනය කරමින් පත්ව තිබෙනවා.