මහ මැතිවරණය ලබන 14 වනදා දිවයින පුරා මධ්‍යස්ථාන 13421 කදී පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
මෙවර මැතිවරණය සදහා දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයන් 5006 දෙනෙකු සහ ස්වාධීන කණ්ඩායම්වලින් 3346 දෙනෙකු තරග වදිනවා.
දිස්ත්‍රික්ක 22 හි ගණන් කිරීමේ මධ්‍යස්ථාන 2034 කදී ඡන්දය ගණන් කිරීමේ කටයුතු සිදුකිරීමට නියමිතයි.
නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු මේ වන විට අවසන් කර තිබෙනවා.
නිවෙස් හිමියන් නොසිටීම / විදේශගත වීම ආදී හේතුන් මත නිල ඡන්ද පත්‍රිකා රැසක් තවමත් බෙදීමට නොහැකි වී ඇති බවයි තැපැල් දෙපාර්තමේන්තුව පවසන්නේ.
මෙතෙක් නොලැබුණු අය සිටි නම් ඡන්දය පැවැත්වෙන දින පස්වරු 4 දක්වාම තමන්ට අදාළ තැපැල් කාර්යාලවලින් ඒවා ලබා ගත හැකියි.
කෙසේ වෙතත් නිල ඡන්ද පත්‍රිකා නොමැති වුව ද සිය අනන්‍යතාව තහවුරු කර ඡන්දය ප්‍රකාශ කිරිමේ හැකියාව පවතිනවා.
ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ජාතික හැඳුනුම්පත / වලංගු රියදුරු බලපත්‍රය / විදේශ ගමන් බලපත්‍රය භාවිත කළ හැකියි.
මැතිවරණ කොමිසම නිකුත් කළ තාවකාලික හැදුනුම්පත සහ පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව නිකුත් කළ තහවුරු කිරිමේ ලිපිය ද ඒ සදහා ඉදිරිපත් කළ හැකියි.
දෘෂ්‍යාබාධිත වුවන් සදහා ඡන්ද මධ්‍යස්ථාන වෙත ස්පර්ශක පුවරු ලබාදෙන බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.
මේ අතර මහ මැතිවරණයේ ආරක්ෂාව සදහා පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.
පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ 90000කට ආසන්න පිරිසක් ඒ සදහා යොදවා සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.
මැතිවරණ රාජකාරී සදහා එම නිලධාරීන් හෙට සිටම වාර්තා කරනු ඇති. මහ මැතිවරණය වෙනුවෙන් ලබන 13 සහ 14 යන දින දෙක දිවයින පුරා පාසල්වලට නිවාඩු ලබාදීමට කටයුතු කෙරුණා.
එම දින දෙක තුළ විශ්වවිද්‍යාල ද වසා තැබීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
පෞද්ගලික විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන ද එලෙස නිවාඩු ලබාදිය යුතු බව මැතිවරණ කොමිසම අවධාරණය කරනවා.
ඡන්දය වෙනුවෙන් දිවයින පුරා සුරාසැල් ලබන 14 වනදා ද පොහොය හේතුවෙන් පසුදා ද වසා තැබෙනවා.