ටික දිනකින් පසු එළඹෙන්නේ අලුත් අවුරුද්දේ පාසල් වාරයට පාසල් උපකරණ ගන්නා කාලයයි.
මේ කාලයට වෙළෙඳපොළේ නෙක පැහැයෙන් එන ප්ලාස්ටික් කෑම පෙට්ටි, වතුර බෝතල් වැහි වැහැලා.
සාප්පුවල පමණක් නොව පදික වේදිකාවලද තබාගෙන මේවා විකිණීම දැකගත හැකියි.
දෙමාපියන් නොදැනම තම දරුවන්ට අගතියක් කරන බව පසුගියදා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනාවරණය කළා.
එහි සභාපති උපුල් රෝහණ මාධ්‍ය හමුවකදී පැවසුවේ නිතර නිතර භාවිතය සඳහා පාසල් දරුවන් ඇතුළු මහජනතාව භාවිත කරන ප්ලාස්ටික් බෝතල් සහ ආහාර ඇසුරුම් පෙට්ටි මිලදී ගැනීමේදී එම ප්ලාස්ටික් නිෂ්පාදනවල ආරක්ෂිත සලකුණ පිළිබඳ අවධානය යොමු කරන ලෙසයි.
උපුල් රෝහණ වැඩිදුරටත් සඳහන් කරන්නේ පතුල මත අංක 05 හෝ වීදුරුවක් සමඟ ගෑරුප්පුවක් සලකුණු කර ඇති ආරක්ෂිත සංකේතය සඳහන් ප්ලාස්ටික් උපකරණ පමණක් නැවත නැවත භාවිතය සඳහා සුදුසු බවයි.
එම ආරක්ෂිත අංකය වන අංක 5 හෝ ආරක්ෂිත සලකුණ සඳහන් කර නොමැති ප්ලාස්ටික් වතුර බෝතල් සහ ආහාර ඇසුරුම් පෙට්ටි අලෙවි කරන ව්‍යාපාරිකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළා.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ මේ පිළිබඳ වෙළෙඳපොළ නිරීක්ෂණ සහ වැටලීම් මේ සතියේ සිට ආරම්භ කිරීමට නියමිත බවයි.