ප්‍රදේශ රැසකට අද දිනයේත් මිලි මීටර 150ට තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද සවස් කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් තවදුරටත් පවතින බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
වයඹ , මධ්‍යම ,ඌව , සබරගමුව ,උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර 150 ඉක්මවු තද වැසි ඇති වීමේ හැකියාව පවතිනවා.
වැසි සමග ඇති විය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙනවා.
ගෙවී ගිය පැය කිහිපය තුළ වැඩිම වර්ෂාපතනය වර්තාවන්නේ වදාකඩ ප්‍රදේශයෙන්.
එය මිල මීටර් 111ක්.
මේ අතර දිසා 6කට නායයාමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.
ඒ බදුල්ල , නුවර , කෑගල්ල ,නුවරඑළිය, කුරුණෑගල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලටයි.
අද පස්වරු 4 දක්වා මෙම අනතුරු ඇඟවීම් නිවේදන බලපැවැත්වෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ.
නායයාම් , බෑවුම් කඩාවැටීම් , ගල්පෙරළීම් , පස්කදු කඩාවැටීම් හා පොළව ගිලා බැසීමේ අවදානම් පිළිබදව විමසිලිමත් වන ලෙස ද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
ඊයේ පස්වරුවේ බදුල්ලට ඇද හැලුනු අධික වර්ෂාපතයෙන් බදුලු ඔය පිටාර ගැලීම හේතුවෙන් හාලිඇළ නගරයට ආසන්නයේ පිහිටි කළු පාළම ද ජලයෙන් යටවී තිබුණා.
ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් රාජාංගන ජලාශයේ වාන්දොරටු දෙකක් අද අළුයම විවෘත කර තිබෙනවා.
එයින් තප්පරයට ඝන අඩි 1150ක් කලා ඔයට මුදා හරින බවයි ජලාශ භාර වාරි ඉංජිනේරු සම්පත් සමරජීව මහතා පවසන්නේ.
ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට සවස් කාලයේ අධික වර්ෂාවක් ලැබුණ හොත් තවත් වාන් දොරටු විවෘත කිරීමට සිදුවන බැවින් කලා ඔය ආශ්රිත පහත් බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් පසුවන ලෙසයි ඒ මහතා දැනුම් දෙන්නේ.
වැලිමඩ උඩුපුස්සැල්ලාව මාර්ගයට ලුනුවත්ත පොලිසිය අසලදී විශාල පස්කන්දක් කඩා වැටී මාර්ගය සම්පුර්ණයෙන් අවහිර වී තිබෙනවා.
ගල් සමග පස්කන්ද කඩා වැටීම හේතුවෙන් එය ඉවත් කිරීමට දින තුනක් ගත වනු ඇති බවයි වාර්තා වන්නේ.
ඊයේ රාත්‍රීයේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් මහනුවර ප්‍රදේශයේ පාසලක බැම්මක් කඩා වැටීම හේතුවෙන් පන්ති රැසකට හානි සිදුවුණා.
තවත් පන්ති 27 ක් අවදානමකට ලක්ව ඇති බවයි එම විද්‍යාලයේ විදුහල්පතිවරයා පවසන්නේ.
මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු සියලු බලධාරීන් දැනුවත් කර ඇති අතර ලබන සඳුදා සිට පාසලේ අධ්‍යාපන කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් බලධාරීන් සමග සාකච්ඡා කරමින් සිටින බවයි විදුහල්පතිවරයා සඳහන් කළේ.