සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කර ඇති බව දක්වමින් ඇතැම් මාධ්‍ය පළකර ඇති ප්‍රවෘත්තිය සම්පූර්ණ අසත්‍ය බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා.
වාර්ෂික බලපත්‍ර අලුත් කිරීම සදහා ජාතික ඖෂධ නියාමන අධිකාරියට යොමුකර ඇති ඉල්ලුම්පත්‍ර රැසක් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ජනවාරි මාසය වනවිට ඖෂධ සැල් ගණනාවක් වැසීයාමේ අවදානමක් ඇති බවට මාධ්‍ය වාර්තා පළව තිබෙනවා.
සමස්ත ලංකා ඖෂධ ශාලා හිමියන්ගේ සභාපතිවරයා ප්‍රකාශ කළ බවට සදහන් එම වාර්තා ජනතාව නොමග යවන සුලු ප්‍රකාශයක් බවයි ඖෂධ නියාමන අධිකාරිය පෙන්වා දුන්නේ.
බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය කිසිදු හදිසි තීන්දුවක් ගෙන නැහැ. ඒ සදහා ක්‍රියාත්මක කරන ක්‍රමවේදයේ ද වෙනසක් සිදුකර නොමැති බවයි ඖෂධ නියාමන අධිකාරිය සදහන් කළේ.
ඇතැම් ඖෂධ ශාලා හිමියන් ඖෂධ පිළිබද කිසිදු දැනීමක් නොමැති අය සේවයට යොදවාගන්නා බවට පැමිණිලි ලැබී තිබෙනවා.
එවැනි පුද්ගලයින් ලබාදුන් වැරදි ඖෂධ හේතුවෙන් රෝගීන්ට ගැටලු මතුවූ අවස්ථා ද මතුව ඇති බවයි ඖෂධ නියාමන අධිකාරිය පවසන්නේ.
ඒ අනුව සුදුසුකම් ඇති ඖෂධවේදියෙකු ඖෂධ ශාලාවේ සිටීම අත්‍යවශ්‍ය වන අතර එය ජාතික ඖෂධ නියාමන අධිකාරිය අඛණ්ඩවම අනුගමනය කළ ප්‍රතිපත්තියක් බවයි එහි සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේ.