2024 සමස්ත ලංකා රොබෝ තාක්ෂණ හා නව නිපැයුම් තරගාවලියේ ජාතික මට්ටමේ තරග ඊයේ දවස පුරා බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ දී පැවැත්වුණු අතර ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට සහභාගී වූ අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සමස්ත ලංකා ජයග්‍රාහකයන්ට පදක්කම්, ත්‍යාග සහ සහතිකපත්‍ර ප්රදානය කරමින් නවනිපැයුම්වල වෙළෙඳපොළ වාණිජකරණය පිළිබඳ අදහස් පළ කළා.
එහි දී ඇය කියා සිටියේ, දක්ෂතා සහිත පාසල් මට්ටමේ නව නිපැයුම්කරුවන්ගේ නිර්මාණ, ඉදිරි 2025 වර්ෂයේ දී ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයේ පාසල් රොබෝ සහ නව්‍යකරණ නමැති වෙන ම අංශයක් යටතේ ඉදිරිපත් කරමින් මෙරට ව්‍යවසායකයන්ට එම නිර්මාණ හඳුනා ගන්නටත් එමගින් එම නිර්මාණවලට වෙළෙඳ පොළ තුළ වාණිජකරණයට අවස්ථා සැලසීමටත් ක්‍රියා කරන බවයි.
නව නිපැයුම් අංශයෙන් දක්ෂතා දක්වන පාසල් දරු දැරියන්ට ඉදිරියට පැමිණීම සඳහා විවිධ තාක්ෂණික ආයතන හා විද්වතුන් සහසම්බන්ධ කරගනිමින් අවශ්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කරන බවත් ඇය මෙහි දී පැවසුවා ය.
පසුගිය වසරේ නව නිපැයුම් සඳහා රටක් වශයෙන් අප ගෝලීය පේටන්ට් බලපත්‍ර 139ක් වැනි අඩු ප්‍රමාණයක් ලබා ගනිද්දී චීනය 2023 වසරේ දී අටලක්ෂ අසූතුන්දාස් අටසීයකට අධික ප්‍රමාණයක් පේටන්ට් බලපත්‍ර හිමි කරගෙන ඉන් 90%පමණ වාණිජකරණයෙන් වෙළඳ පොළට හඳුන්වා දී ලෝක ආර්ථිකය තුළ ඉදිරියෙන් සිටින බව ද ලේකම්තුමිය මෙහි දී සිහිපත් කළා.
එසේ ම අපට සිටින වෙනස් විදිහට හිතන, නිර්මාණශීලී චින්තනයකින් හෙබි දූ දරුවන්ගේ සාක්ෂ්‍ය සහිත මෙම නව සොයාගැනීම්, වෙළෙඳ පොළ වටිනාකමක් සහිත නව නිෂ්පාදන දක්වා වර්ධනය කළ යුතු බව කී ජයසුන්දර මහත්මිය ඉදිරියේ දී මේ නව සොයාගැනීම් බහුතරයක් අපේ රටේ නිෂ්පාදන ආර්ථිකය ගොඩනැගීමට දායක වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් ප්‍රකාශ කළා.
අමාත්‍යාංශයීය තාක්ෂණ අධ්‍යාපන අංශය විසින් සංවිධානය කරන ලද අතර ඒ පාසල් පද්ධතිය තුල බොහෝ විෂයානුබද්ධ කුසලතා ප්‍රදර්ශනය සඳහා විවිධ මට්ටමේ තරග හා ප්‍රදර්ශන පැවතියද නව තාක්ෂණ හා නිර්මාණකරණය සඳහා අභිප්‍රේරණයක් ලබා දෙමින් අධ්‍යාපන අමාත්‍යාංශය සතුව ජාතික මට්ටමේ වේදිකාවක් නිර්මාණය කිරිමේ අරමුණ ඇතිවයි ඒ අනුව 2019 දී ප්‍රථමවරට ජාතික රොබෝ තාක්ෂණ තරඟාවලිය පවත්වන ලදී.
එහිදී ඉදිරිපත්වූ රොබෝ තාක්ෂණික නොවන නිර්මාණ සඳහා ද තරගකාරී ප්‍රදර්ශන පසුබිමක් සකස්කිරීමට අංක 08/2020 හා 2020.05.18 දිනැති චක්‍රලේඛය මගින් මෙම තරඟාවලිය සමස්ත ලංකා රොබෝ තාක්ෂණ හා නව නිර්මාණ තරඟාවලිය ලෙස පුළුල් කර තිබෙනවා.
මෙම ජාතික මට්ටමේ තරඟාවලියට පාසල් හා පළාත් මට්ටමින් පැවති මූලික තරග වටවල ජයග්‍රාහකයන් දෙසිය පනස් දෙදෙනකු (252) සහභාගි වී තිබූ අතර රොබෝ සහ නව නිපැයුම් යන ප්‍රධාන කාණ්ඩ දෙක යටතේ ඉසව් පහ බැගින් තරග 10ක් පවත්වා ඉන් පළමු, දෙවන හා තෙවන ස්ථාන හිමි කරගත් ජයග්‍රාහකයන් තිස් (30) දෙනකුට මෙහි දී සහතික, මුදල් ත්‍යාග හා පදක්කම් පිරිණෑමුනා.
ගෝලීය තිරසර සංවර්ධන අරමුණු ද ඉලක්ක කරගනිමින් තාක්ෂණ අධ්‍යාපන ක්ෂේත්රයේ කාන්තා සහභාගීත්වය දිරිගැන්වීම සඳහා මෙහි දී තරග ඉසව්ව 10 යටතේ ම සිසුවියන් 10 දෙනෙකුට විශේෂ සම්මාන ප්‍රදානයක් ද සිදු කෙරුණා.
මේ අවස්ථාවට විශ්වවිද්‍යාල විද්වතුන්, ජාතික මට්ටමේ නව නිපැයුම්කරුවන්, ගුරුවරුන්, දෙමාපියන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීහු සහභාගී වී සිටියා.