ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වැඩ භාර ගැනීමෙන් පසු නාවික හමුදා මූලස්ථානයේ සිදුකල ප්‍රථම නිල සංචාරය අද ( 06) සිදුකර තිබෙනවා .
නාවික හමුදා මුලස්ථානය වෙත සපැමිණි ආරක්ෂක ලේකම්වරයා බටහිර නාවික විධාන අඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ විසින් පිළිගනු ලැබූ අතර, අනතුරුව ඔහු වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූල ගෞරව සම්මාන මුරයක් ද පිරිනමා තිබෙන බවයි සඳහන් වන්නේ .
ආරක්ෂක ලේකම්වරයා සම්මාන පෙළපාලියේ ආචාරය පිළිගැනීමෙන් පසු නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් නාවික හමුදා මුලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්ව හඳුන්වා දීම සිදුකර තිබෙනවා .
නාවික හමුදාධිපතිවරයාගේ කාර්යාලයේ පැවති නිල හමුවේදී ආරක්ෂක ලේකම්වරයා සහ නාවික හමුදාධිපතිවරයා අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු
පිළිබඳව සාකච්ඡාවක නිරත වූ අතර, ඉන් අනතුරුව නාවික හමුදා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සිදුකරන ලද නාවික හමුදාවේ ව්‍යුහය, කාර්යභාරය සහ මෙහෙයුම් පිළිබඳව දැනුවත් කිරීමේ සාකච්ඡාවකට එක්වී තිබෙන බවයි සඳහන් වන්නේ .
භට පිරිස් ඇමතූ ආරක්ෂක ලේකම්වරයා, අප රටේ පැවති තිස්වසරක කුරිරු යුද්ධය නිමා කිරීමට නාවික හමුදාව දැක්වූ දායකත්වය සිහිපත් කළ අතර,
සාගරික සම්පත් ආරක්ෂා කරමින් ජාතික ආරක්ෂාව වෙනුවෙන් නොගැඹුරු මෙන්ම ගැඹුරු මුහුදේ ද අභියෝගයන්ට මුහුණ දෙමින් තම කාර්යය නිසි
ආකාරව ඉටුකිරීම වෙනුවෙනුත්, අප රට වටා ඇති මහ මුහුද හරහා සිදුකෙරෙන නීති විරෝධී ජාවාරම් පාලනය කිරීමට ගන්නා උත්සාහය හා
දායකත්වය පිළිබඳවත් අගය කර තිබෙනවා .
අනතුරුව, එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා විසින් අමුත්තන්ගේ පොතේ සටහනක් තැබූ අතර, මෙම අවස්ථාව සනිටුහන් කිරීම උදෙසා සමරු
තිළිණ හුවමාරුවක් ද සිදුවී තිබෙනවා .
නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල් කාංචන බානගොඩ, ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ හා
කනිෂ්ඨ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නාවිකයින් මෙන්ම නාවික – සිවිල් කාර්ය මණ්ඩලය ද මෙම අවස්ථාවට එක් වී තිබෙනවා .