අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා සහ මහජන චීන සමුහාණ්ඩුවේ හෙනාන් පළාතේ උපදේශක කමිටුවේ උප සභාපති Liu Jiongtian මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු චීන නියෝජිතයින් අතර හමුවක් ඊයේ (05) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පවත්වා තිබෙනවා .
ශ්‍රී ලංකාව හා හෙනාන් පළාත අතර පවත්නා ඓතිහාසික සම්බන්ධතාවය, සේද මාවත හරහා ඈත අතීතයට දිව යන සංස්කෘතික බැඳීම් වලින් වර්ධනය වූවක් බව අග්‍රාමාත්‍ය ලේකම්වරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙන බවයි සඳහන් වන්නේ .
හෙනාන් පළාතේ පවත්නා නවීන කෘෂි තාක්ෂණය, පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදන, විද්‍යුත් වාහන හා ජංගම දුරකථන නිෂ්පාදන කර්මාන්තයන් සහ අනෙකුත් තාක්ෂණික නවෝත්පාදනයන් පළාතේ ආර්ථිකයට ඵලදායීව දායකවන ආකාරය සම්බන්ධව Liu Jiongtian මහතා විසින් අග්‍රාමාත්‍ය ලේකම්වරයා වෙත පැහැදිළි කර තිබෙනවා .
වෘත්තීය, තාක්ෂණික, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අංශයන් ඔස්සේද, සංචාරක හා සංස්කෘතික හුවමාරු වැඩසටහන් සහ නව ආර්ථික සහයෝගීතාවයන් මගින් දෙරට අතර අඛණ්ඩ සබදතාවය වර්ධනය කරගැනීමේ හැකියාව සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කර තිබෙනවා .
මෙම අවස්ථාවට හෙනාත් පළාත් සංස්කෘතික උරුම කාර්යාංශයේ අධ්යක්ෂ ජනරාල් Ren Wei, හෙනාන් පළාත් විදේශ කටයුතු කාර්යාලයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් Ai Fan සහ හෙනාන් පළාත් ආසියානු හා අප්‍රිකානූ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අධ්යක්ෂ Guo Hua යන මහත්වරුන්ද, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් හර්ෂ විජේවර්ධන මහතා ද සහභාගී වී තිබෙනවා .