හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ පුද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළ නඩුව නීතිපති උපදෙස් සඳහා දෙසැම්බර් 18 වනදා කැඳවීමට නියෝග කෙරුණා.
රනිල් වික්රමසිංහ මහතාගේ නිවසට ගිනිතැබීමේ සිද්ධියට අදාළ නඩුව කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවේ අද යළි කැඳවුවා.
අධිකරණයේ පෙනී නොසිටි සැකකරුවන් දෙදෙනෙකුට වරෙන්තු නිකුත් කෙරුණා.
මෙම නඩුවේ සැකකරුවෙකු වන හිටපු මන්ත්රී ජේ ශ්රී රංගා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පැවසුවේ ඔහු එදින එම ස්ථානයට ගොස් ඇත්තේ සිද්ධිය වාර්තා කිරීමට බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති 30 දෙනෙකුගෙන් කිහිප දෙනෙකුට මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා.
සිද්ධියට අදාළ හඩපට රජයේ රසපරික්ෂක වෙත යවා ඇති බවද ඔවුන් පැවසුවා.
හිටපු ජනාධිපතිවරයාගේ නිවසට ගිනිතැබූ අවස්ථාවේ ගිනි නිවීමේ රථවලට ඇතුළුවීමට ඉඩ නොදී අයුතු අවහිරයක් කළ බවට ජේ.ශ්රී රංගා ඇතුළු පිරිසක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු මේ වන විට ඇප මත මුදා හැර තිබෙනවා.