ජපානය, පාපැදිකරුවන්ට නව නීතියක් හඳුන්වා දී තිබෙනවා.
ඒ පාපැදිය පැදවීමේදී ජංගම දුරකථනයක් භාවිතා කරමින් යන්නේ නම්, ඔවුන් හට උපරිම මාස හයක සිර දඬුවමක් හෝ යෙන් 100,000 ක දඩයක් නියම කරමින්.
මෙම නව නීතිය දැඩිව ක්‍රියාත්මක වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.
2021 වසරේ පටන් පාපැදිකරුවන් සම්බන්ධ අනතුරු සංඛ්‍යාව ඉහළ යාම, මෙලෙස නව නීතියක් හඳුන්වාදීමට හේතුව ඇති බව සඳහන්.
ඒ අනුව වර්තමානය වන විට බහුතර පිරිසක් පොදු ප්‍රවාහනය පසෙකලා පාපැදිය තෝරාගැනීම, බලධාරීන් විසින් මෙවන් නියාමනයක් සිදුකිරීමට සෘජුවම බලපෑම් කර තිබෙනවා.
දුරකථන භාවිතය මැඩලීමට අමතරව, නව නීති මගින් බීමතින් පාපැදි පැදවීම ද ඉලක්ක කර ඇති බව සඳහන්.
එලෙස යමෙක් බීමතින් පාපැදි පදවන්නේ නම්, වසර තුනක සිර දඬුවමක් හෝ යෙන් 500,000 ක දඩයකට යටත් වීමට සිදුවනු ඇති.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, නව නීති බලාත්මක වී පැය කිහිපයකට පසු ඊයේ දිනයේ ම ඔසාකා බලධාරීන් විසින් නව මාර්ග නීති උල්ලංඝනය කිරීම් පහක් හඳුනාගෙන ඇති බවයි.
ජපන් බලධාරීන්ට අනුව, 2023 වසරේදී එරටින් වාර්තා වුණු පාපැදි අනතුරු 72,000කට අධිකයි.
එය රටේ සිදුවන සියලුම රථවාහන අනතුරුවලින් 20%කට වඩා වැඩි ප්‍රමාණයක් ගන්නා බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
එමෙන්ම රට තුළ 2024 පළමු භාගයේදී පාපැදිකරුවන් තම දුරකථන භාවිතා කිරීමෙන් සිදුවූ අනතුරුවලින් එක් මරණයක් සහ බරපතල තුවාල 17 ක් වාර්තා වූ බව සඳහන්.
එවන් තත්ත්වයක් මත ගෙන එන ලද මෙම නව නීති, පදවන්නන්ගේ සහ පදිකයින්ගේ ආරක්ෂාව අරමුණු කරගත් රෙගුලාසි මාලාවකින් සැදුම්ලත් බවයි බලධාරීන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ.
මීට ඉහත, එනම් පසුගිය වසරේදී ජපන් බලධාරීන් විසින් පාපැදිකරුවන්ට හිස්වැසුම් පැළඳීම ද අනිවාර්ය කර තිබුණා.
එමෙන්ම, ජපාන පාර්ලිමේන්තුව මාර්ග නීති කඩකිරීම් සම්බන්ධයෙන් පාපැදිකරුවන්ට දඩ නියම කිරීමට පොලිසියට අවසර දෙන පනතක් ද මැයි මාසයේදී සම්මත කරනු ලැබුවා.