කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ (සූරියවැව) පිරිසක් රැගත් බස් රථයක් ඊයේ (නොවැ 01) උදෑසන දුන්හිඳ – බදුල්ල මාර්ගයේ අඹගස් හන්දිය ප්‍රදේශයේදී අනතුරට ලක්වීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයට අනුව බස් රථයේ ගමන් කළ සම්පූර්ණ පිරිස 42 ක් වන අතර ඊට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 39 වන පාඨමාලාවට අයත් සිසු සිසුවියන් 36 දෙනෙක්, කථිකාචාර්යවරුන් 03 දෙනෙක්, එම කණ්ඩායම භාරව කටයුතු කළ උපදේශකවරයෙක්, බස් රථය භාරව ගමන් කළ ජ්‍යෙෂ්ඨ හමුදා සාමාජිකයෙක් හා බස් රථයේ රියදුරා අයත් වූ බව සඳහන්.
එමෙන්ම සිදු වූ අනතුරින් ශිෂ්‍යාවන් දෙදෙනෙකු මිය ගොස් ඇති බවත්, තවත් 40 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇති බවයි නිවේදනයේ දැක්වෙන්නේ.
මියගිය සිසුවියන් දෙදෙනා කුරුණෑගල හා නිවිතිගල පදිංචිකාරියන් වන අතර, තුවාල ලබා ඇති සිසුන් මේ වන විට බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවත්, ඉන් 07 දෙනෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කොට ඇති අතර එක් අයෙකුගේ තත්ත්වය බරපතළ වන බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කරන බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.
එමෙන්ම මියගිය සිසුවියන් දෙදෙනාගේ අවසන් කටයුතු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පූර්ණ අනුග්‍රහය යටතේ සිදු කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කොට ඇති බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ප්‍රකාශ කර ඇති බවයි සඳහන් කර ඇත්තේ.
තවද, ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් පරිදි අවශ්‍ය වුවහොත් වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝගීන් කොළඹට ගෙන ඒමට ශ්‍රී ලංකා ගුවන් හමුදා බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මේ වන විට දියතලාව ගුවන් හමුදා කදවුරේ ස්ථානගත කොට ඇති බවත් නිවේදනයේ සඳහන්.
ආරක්ෂක අමාත්‍යංශය පෙන්වා දෙන්නේ, ලැබී ඇති තොරතුරු අනුව බස් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුර සිදු වී ඇතැයි විශ්වාස කරන බවයි.
එමෙන්ම මෙම අනතුර සිදුවූ මොහොතේ අනතුරින් තුවාල ලැබූවන් එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමටත් ඔවුන් කඩිනමින් රෝහල් ගත කිරීමටත් ක්‍රියාකළ ප්‍රදේශවාසීන් ඇතුළු සියලු දෙනාට හා වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය වෙත ද ආරක්ෂක අමාත්‍යාංශය සිය ස්තූතිය පුදකර තිබෙනවා.