රුසියානු රජයට අයත් යූ ටියුබ් චැනලයකට සීමා පැනවීම හේතුවෙන් එරට අධිකරණයකින් ගූගල් සමාගමට අමෙරිකානු ඩොලර් ඩෙසිලින් 20ක දඩයක් පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මේ ගණනය ඉලක්කමින් සඳහන් කරද්දී එය බිංදු 33ක අගයක් ගන්නා බවත්, ගණන් කළ නොහැකි ප්‍රමාණයේ විශාල අගයකින් යුතු එම දඩ මුදල සමස්ත ලෝකයේම දළ දේශීය නිෂ්පාදිතයට වඩා වැඩි බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙනවා.
ගූගල් සමාගම ලොව ධනවත්ම සමාගමක් ලෙස ප්‍රකට වුවද එහි මුළු වටිනාකම පවා ඩොලර් ට්‍රිලියන 3කට ආසන්න බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුළු වටිනාකම අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 110ක් පමණ වන බවයි සඳහන් වන්නේ.
රුසියානු අධිකරණය විසින් පනවනු ලැබූ එම අතිවිශාල දඩ මුදල ප්‍රකාශ කිරීමට පවා අසීරු බව රුසියානු ජනාධිපති මන්දිරයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් සඳහන් කර තිබෙනවා.
එහෙත් මේ නඩු තීන්දුව පිළිබඳ ගූගල් සමාගම දැඩි අවධානයක් යොමු කළ යුතුව ඇතැයි ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් මේ පිළිබඳ ගූගල් සමාගම මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ.