ආරුගම්බේ සිද්ධිය ඇමෙරිකාවේ බලපෑමක් මත සිදුවුවක් නොවන බව අමාත්‍ය විජිත හේරත් මහතා අද අවධාරණය කළා.
ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව තොරතුරු හුවමාරුකර ගනිමින් අදාළ සියලු ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගත් බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
මේ අතර ආරුගම්බේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශන පිළිබද අතිශය රහසිගත වාර්තාවක් විමර්ශන නිලධාරීන් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද ලබාදුන්නා.
ආරුගම්බේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකෙරෙන බවයි ස්වාධීන රූපවාහිනී හත්වෙනි පැය වැඩසටහනට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ.
මෙරට විදේශ සංචාරකයින් බහුල වශයෙන් රැඳී සිටි ප්‍රදේශයක් ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් පවතින්නේ යැයි ලැබුණු තොරතුරු අනුව සිදුකළ විමර්ශනවලට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරන බවද ත්‍රස්ත විමර්ශන කාර්යාංශය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට අද දැනුම් දුන්නා.
මීට අදාළව සිදුකළ විමර්ශන පිළිබද අතිශය රහසිගත වාර්තාවක් විමර්ශන නිලධාරීන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා වෙත ඉදිරිපත් කළා.
විමර්ශන ප්‍රගතිය පිළිබද ඉදිරියේදී අධිකරණය දැනුවත් කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළා.
මේ අතර ඇමෙරිකා තානාපතිනි ජූලි චන්ග් මහත්මිය ඊයේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමෙරිකාව කිසිදු සංචාරක තහනමක් පනවා නැති බවයි.
ආරුගම්බේ සම්බන්ධයෙන් ලැබුණ තොරතුරු ශ්‍රී ලංකා රජයට ලබාදීමෙන් පසු දැක්වූ ක්ෂණික ප්‍රතිචාරය ප්‍රශංසනීය බවද ඇය කියාසිටියා.
ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නන්ට පවතින ආරක්ෂාව පිළිබද විදෙස් සංචාරකයන්ද සහතික වනවා.
විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඇමරිකාව / ජර්මනිය / ප්‍රංශය / ස්පාඤ්ඤය යන රටවල සංචාරකයන් කියා සිටියේ ලොව සංචාරය කිරිමට ඉතාම ආරක්ෂිත රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වාදෙන බවයි.
විදෙස් සංචාරකයින් වැඩි වශයෙන් පැමිණෙන මාතර වෙරළතීරයේ වැලිගම / කොටවිල / මිදිගම යන ප්‍රදේශවල සංචාරක ව්‍යාපාරයේ නිරතවූවන් දැනුවත් කිරීමට වැලිගම පොලිස් ස්ථානය කටයුතු කළා.
ආරක්ෂක තත්ත්වය සහ සංචාරක ව්‍යාපාරයේ නිරතවූවන්ට ඇති ගැටලු සම්බන්ධයෙන් අදහස් හුවමාරුකර ගැණුනා.