මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියේ කටයුතුවලට කිසිදු බාධාවක් හෝ මැදිහත්වීමක් සිදුකිරීම වළක්වාලමින් ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරිය වෙත නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කෙරුණා.
එම නියෝගය දෙසැම්බර් මස 02 වනදා දක්වා දීර්ඝ කරන ලෙසයි අභියාචනාධිකරණය නියම කළේ.
අම්බුළුවාව ප්‍රදේශයේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන රාජගිරියේ පෞද්ගලික සමාගමක් ගොනුකළ රිට් පෙත්සමක් අද යලි සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළා.
වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය පෙත්සමට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.
එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ මෙම කේබල් කාර් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ප්‍රදේශය නාගරික සංවර්ධන අධිකාරියේ බල අධිකාරියට යටත් ප්‍රදේශයක් බවයි.
ඊට මැදිහත්වීමට ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරියට කිසිදු බලයක් නොමැති බව ඔහු පෙන්වා දුන්නා.
කෙසේ වෙතත් නඩුවට අදාළ විරෝධතා දෙසැම්බර් මස 02 වනදා ගොනු කිරීමට අවසර දුන් අභියාචනාධිකරණය දැනට නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය එදින දක්වා දීර්ඝ කරන බව පැවසුවා.
පෙත්සම්කාර සමාගම පවසන්නේ මෙම කේබල් කාර් ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවලට සියලු රාජ්‍ය ආයතන අනුමැතිය ලබාදී තිබියදී ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරිය ඊට බාධා සිදු කරන බවයි.
ඒ හේතුවෙන් අදාළ ව්‍යාපෘතිය නියමිත කාල සීමාව තුළ අවසන් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව ද පෙත්සම්කරු පවසනවා.