එළඹෙන දිපවාලි උත්සව සමය නිමිත්තෙන් හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පිරිසක් ඊයේ දින හැටන් නගරයේ ආපනශාලා හදිසි පරික්ෂාවකට ලක් කිරිමේදි ආපනශාලා හිමියෙකු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කරමින් ආපනශාලා පරික්ෂා කිරිමට ඉඩ ලබා නොදී මරණිය තර්ජන සිදු කිරීම සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් හැටන් පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.
දමිල ප්රගතිශීලී සන්ධානයට සහාය දක්වන එම ආපනශාලාවේ හිමිකරු තමන් හැටන් දික්ඔය නගර සභාවේ අනාගත සභාපතිවරයා බවත්, තම ආපනශාලාව පරික්ෂා කිරිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කිසිදු අයිතියක් නොමැති බව පවසමින් ආපනශාලාවේ හිමිකරු තම රාජකාරියට බාධා කල බවට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පොලිසිය වෙත කර ඇති පැමිණිල්ලේ සටහන් කර තිබුණා.
දීපවාලි උත්සවය නිමිත්තෙන් හැටන් නගරයට දිනපතා විශාල පාරිභෝගිකයන් පිරිසක් පැමිණෙන නිසා නගරයේ සියළුම ආපනශාලා සහ ආහාර ද්‍රව්‍ය අලෙවි කරන තොග සහ සිල්ලර වෙලදසැල් ඊයේ දින හදිසි පරික්ෂාවට ලක් කල බවත්, ඒ අනුව හැටන් නගරයේ පිහිටි එම ආපනශාලාව වෙත ගොස් පරික්ෂා කිරිමේදි මිනිස් පරිභෝජනයට නුසුදුසු ආකාරයෙන් අපිරිසිදු ලෙස ආහාර පිලියෙල කර තිබු බවත්, ඒවා විනාශ කිරිමට කටයුතු කරන අවස්ථාවේ ආපනශාලාවේ හිමිකරු පැමිණ තමන් ඇතුළු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට පහර දිමට තැත් කර ආපනශාලාව පරික්ෂා කිරිමට හෝ පිලියෙල කර තිබු අපිරිසිදු ආහාර විනාශ කිරිමට ඉඩ ලබා නොදුන් බවත්, පසුව හැටන් පොලිසියේ නිලධාරින්ගේ සහය ඇතිව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ආපනශාලාවෙන් පිටතට පැමිණි බවයි හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා ප්‍රකාශ කළේ.
මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සිදු කල පැමිණිල්ල අනුව අදාල ආපනශාලා හිමිකරු අත්අඩංගුවට ගත් බවත්, අත්අඩංගුවට ගත් සැකකරු අද දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත් හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතා ප්‍රකාශ කළා.