අහසේ තියෙන වතුර මේ දවස්වල හරි වේගයෙන් බිමට කඩාගෙන වැටෙනවා.
ඒ වැටෙන වතුර අපේ රටේ තැන තැන එකතු වෙච්ච හින්දා ගංවතුර තත්ත්වයක් ඇති වෙලා කියලා හැමදාම හවසට රූප පෙට්ටියේ කෑගහනවා අපිට ඇහිලා තියෙනවා.
අච්චරක් අවතැන් වුණා. මෙච්චරක් මියගියා, මේතරම් දේපලක් විනාශ වෙලා ඔන්න ඔයවගේ තොරතුරු තමයි අපිට ප්‍රවෘත්තිවලින් අහන්න දකින්න ලැබෙන්නේ.
හැබැයි අහසින් පොළවට වැටෙන ඒ ජලකද මුහුදට ගලාගෙන යන්න නිසි ක්‍රමවේදයක් තිබ්බා නම් මේ වගේ ප්රවෘත්ති අපිට අහන්න වෙන එකක් නෑ කියලා බොහෝ පරිසරවේදීන් හඩ නගනවා.
අපේ ජීවත කාලය තුළ ලොකුම ගංවතුරක් ගැන අහන්න ලැබුණේ 1980 ගණන්වල.
ඒ ගංවතුර කොයිතරම් සැරට ආවද කියනවා නම් ගෙවල්වල වහලවල් උඩිනුත් වතුර ගියා කියලා තමයි අපෙ ආච්චිල සීයල කිව්වේ. හැබැයි කොයිතරම් ලොකුවට ආවත් ඒ ගංවතුර වැඩි දවසක් මිනිස්සුන්ට වද දුන්නේ නැහැ.
ඉක්මනින්ම වතුරටික බැහැලා ගියා. නමුත් ඉන් පසුව මෑත කාලයේ ඒ වගේ විශාල ගංවතුරක් ආවේ 2016 / 2017 කියන කාල වලදී. එදා ඒ ගංවතුර සති ගණනාවක් මිනිස්සුන්ට වද දීපු හැටි ඔබටත් මතකයි. මටත් මතකයි.
එදා අසූගණන්වල ලොකු ගංවතුරක් අවාත්/ ඒ වතුර ඉක්මනින්ම බැහැල යන්න කොළඹ නගරයේ වුනත් ජල පෝෂක ප්‍රදේශ තිබ්බා. වෙල් යායවල් තිබ්බා. වගුරු බිම් තිබ්බා. හැබැයි 2016 වෙනකොට ගංවතුර බහින්න අර කලින් කියපු ජල පෝෂක ප්‍රදේශ නොතිබුණු නිසා සති ගානක් ඒ වතුර අපි වද දුන්නා.
කාලයක වෙනස ඔබට තේරෙනවාද? සැරිස් සැරේට වසර ගානක් තිස්සේ අපේ රටේ පළාත් සභාවට /නගර සභාවට සහ පළාත් සභාවලට පත්වෙලා ආපු දේශපාලන හෙන්චයියලා මේ තත්ත්වයට වග කියන්න ඕනේ.
සමහරු කෝටි ගණන් ජරාව කාලා වගුරු බිම් බිස්නස්කාරයින්ට වික්කා. තවත් පිරිසක් හොරෙන් හොරෙන් වගුරුබිම ගොඩකරලා තමන්ගේ නෑදෑයින්ගේ නම්වලට ඒවා ලියාගත්තා. ලැජ්ජයි.
ඒ අය ඒ විදියට සල්ලිවලට වික්කේ අපේ රටේ සොබාදහමේ කොටස් විතරක් නෙමෙයි. මේ රටේ උපදින්න ඉන්න දරුවන්ගේ අනාගතය. පායන කාලෙට පුංචි ජරාවක් කාලා කොහේ හරි තැනක අක්‍රමවත් ඉදිකිරීමක් කරලා තමන්ට දේශපාලන ගොට්ට අල්ලන හෙන්චයියා කෙනෙකුට ලියලා දෙනවා.
ඊට පස්සේ වහින කාලෙට මේ ඉදිකිරීම නිසා වතුර බ්ලොක් වෙලා ඒ අවට ප්‍රදේශයම වතුරෙන් යටවෙනකොට හොර පූසෝ වගේ සද්ද නැතුව හැංගිලා ඉන්නවා.
දේශපාලුවෝ විතරක් නෙවෙයි ඇතැම් නිලධාරීනුත් මේවට සම්බන්ධයි. මොකද කවුරු මොනා කිව්වත් ඔවුන්ගේ අත්සන නැතුව මේ දේවල් රාජ්‍ය ආයතනවල සිදුකරන්න බැහැ.
මීට අවුරුදු 10කට උඩදී තිබ්බ වෙල්/ වගුරු බිම් / ජලපෝෂක ප්‍රදේශවලින් අද ඉතුරු වෙලා තියෙන්නේ කීයෙන් කීයද? ඒ හැම දෙයක්ම කාලයත් එක්ක ජවාරම් කාරයින්ගේ පස්වලට වැහිලා ගිහිල්ලා. අපේ රට ටිකකට අමතක කරලා / මැලේසියාව/ දකුණු කොරියාව / සිංගප්පූරුව වගේ ආසියාතික රටවල්වලින් උදාහරණ ගත්තොත් මැලේසියාව වගේ රටවල නිවාස සංකීර්ණ තියෙන්නේ වෙනම ප්‍රදේශයක / ව්‍යාපාරික ස්ථාන තියෙන්නේ වෙනම ප්‍රදේශක/ කර්මාන්ත ශාලා තියෙන්නේ වෙනම ප්‍රදේශයක/හැබැයි ලංකාවේ උඩගෙදර / යට කඩේ/කිසිම ක්‍රමත් භාවයක් නැහැ. ක්‍රමවත් භාවයක් ඇතිකරන්න හීනෙන්වත් හිතලා නැහැ. ඒ වගේම හරිහැටි ශක්‍යතා අධ්‍යයනයකින් තොරව අපේ රටේ සිදුකරපු මහා විශාල සංවර්ධන ව්‍යාපෘති අද මේ ජල ගැටලුවට විශාල රුකුලක් වෙලා තියෙනවා.
අතීතය ඉවරයි. මිනිස්සු පහුගිය 21 වෙනිදා ඒ අතීතයට තිත තිබ්බේ අලුත් අනාගතයක් බලාපොරොත්තුවෙන්. අවුරුදු 76ක කුණු ගොඩ අපි එකපාරම අලුත් රජයට විසදන්න කියලා කියන්නේ නැහැ. මොකද මේක ලේසි වැඩක් නෙවෙයි. හැබැයි රටේ ශක්තිමත් ආණ්ඩුවක් බිහි වීමෙන් පසු මේ ප්‍රශ්න එකින් එකට විසදයි කියලා ජනතාව විශාල බලාපොරොත්තුවකින් බලා ගෙන ඉන්නවා.