ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා අතර හමුවක් අද (02) දින පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවී තිබෙනවා .
කියුබාව සහ ලංකාව අතර පවතින දීර්ඝ කාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ මිත්‍රත්වය ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමු වී ඇති බවයි සඳහන් වන්නේ .
ඒ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ගොරිඩෝ මහතා තම සුබ පැතුම්ද එක්කර තිබෙනවා .
ශ්‍රී ලංකාව ඩෙංගු මර්ධනය සඳහා දරන ප්රයත්නයන් සඳහා කියුබානු රජය අඛණ්ඩව සහාය ලබා දෙන බවයි කියුබානු තානාපතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ .
ඩෙංගු උවදුර මර්ධනය කිරීමේදී කියුබාව ලබා ඇති සාර්ථකත්වය පිළිබඳ මෙහිදී පෙන්වා දුන් මෙරට කියුබානු තානාපතිවරයා, ශ්‍රී ලංකාව තුළ ඩෙංගු උවදුර තුරන් කිරීම අරමුණු කරගත් මහජන සෞඛ්‍ය වැඩසටහන් සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම බෙදාහදා ගැනීමට සහ සහයෝගයෙන් කටයුතු කිරීමට කියුබානු රජය කැමැත්තෙන් පසුවන බව ද වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා .