රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ සිදුවන නවකවද සිද්ධීන් පිටුදැකීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කර තිබෙන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
නවක වදයෙන් පීඩාවට පත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවෙකු ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවු අවස්ථාවේයි මෙම නියෝගය ලබාදුන්නේ.
රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ සිදුවන නවකවද සිද්ධීන් පිටුදැකීමේ මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් 2020 වසරේ ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ නවක වද සිද්ධියකින් පීඩාවට පත් පසිඳු හර්ෂණ සිල්වා නමැති සිසුවා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
එය අගවිනිසුරු ප්රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ඊයේ කැඳවුවා.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය පැවසුවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල සිදුවන නවකවද සිද්ධීන් වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කර ඇති බවයි.
මෙහිදී අගවිනිසුරුවරයා සඳහන් කළේ එම මාර්ගෝපදේශ මාලාව සියලු විශ්වවිද්‍යාල වෙත යොමු කොට සංශෝධන යෝජනා වේ නම් ඒවාද ලබාගෙන අවසන් කෙටුම්පත සකස් කරන ලෙසයි.
එසේ සකස් කරන අවසන් කෙටුම්පත අධිකරණය හමුවේ ද ගොනු කරන ලෙසත් නියෝග කළා.
පෙත්සම්කරු පවසන්නේ ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඇති වූ නවක වද සිද්ධියකදී බැකෝ ටයරයක් පෙරළීම නිසා තම හිසට සහ මොලයට බරපතළ තුවාල සිදු වූ බවයි.
ඒ හේතුවෙන් මාස තුනකට ආසන්න කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමට සිදුවූ බවත් මේ දක්වා පූර්ණ සුවය ලැබී නොමැති බවත් පෙත්සම්කරු පවසනවා.
මෙම ක්‍රියාව තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් විශ්වවිද්‍යාල තුල සිදුවන නවක වද සිද්ධීන් පිටුදැකීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණා.