බීමතින් මහවැලි ගඟේ දිය නෑමට ගිය තරුණයින් පස්දෙනෙකු අතරින් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති බව වත්තේගම පොලිසිය පවසනවා .
මෙම පිරිස ඊයේ (25) දහවල් 12 .30 ට පමණ පොල්ගොල්ල වේල්ලේ සිට කිලෝමීටර් භාගයක් පමණ පහළින් වූ ස්ථානයකින් දියනෑම සඳහා මහවැලි ගඟට බැස තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් හෙළි වී තිබෙනවා .
පොල්ගොල්ල ජලාශයේ සිට වික්ටෝරියාවට ජලය මුදා හැරෙන එක් ගේට්ටුවක් ඊයේ පෙරවරුවේ සිට විවෘතව තිබී ඇති අතර ජල පහරට හසු වූ තරුණයින් පස්දෙනා ජලය ගසාගෙන යද්දී තිදෙනෙකු ගල් පරවල එල්ලී දිවි ගලවා ගැනීමට සමත් වී තිබෙන බවයි සඳහන් වන්නේ .
මෙම තරුණයින් සියළු දෙනා යග්ගහපිටිය ප්රදේශයේ පදිංචිකරුවන් .
ජලයේ ගසාගෙන ගොස් අතුරුදන් වූ දෙදෙනා අතරින් එක් අයෙකු ධනංජය ඉදුවර (22) නැමැත්තෙකු බවට හඳුනා ගත් බව පොලිසිය පවසනවා .
දියේ ගසාගෙන ගිය තරුණයන් දෙදෙනා සෙවීමට පොලිසිය මෙහෙයුමක් දියත් කර තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් වත්තේගම පොලිසිය පරීක්ෂණ පවත්වනවා .