ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙරට නව වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුණේ දේශපාලන ඉතිහාසයේ අලුත් පරිච්ඡේදයක් සනිටුහන් කරමින්.
රටේ අනාගත භාරකරුවා වු අනුර කුමාර දිසානායක මහතා පැමිණි ගමන් මග පිළිබද කෙටි සටහනක් දැන්.
දිසානායක මුදියන්සේලාගේ රන්බණ්ඩා හා දිසානායක මුදියන්සේලාගේ සීලවතී යුවළට දාව මාතලේ දේවහූව ග්‍රාමයේදී 1968 වසරේ නොවැම්බර් 24 වනදා අනුර කුමාර දිසානායක මහතා උපත ලැබුවේ පවුලේ දෙවන දරුවා ලෙසයි.
තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයේ මූලික අධ්‍යාපනය හැදෑරූ ඒ මහතා තඹුත්තේගම මධ්‍යමහා විද්‍යාලට ඇතුළත්ව ගණිත අංශයෙන් උසස් පෙළ හදාරා විශ්විද්‍යාල ප්‍ර වේශයට සුදුසුකම් ලබා ගත්තා.
1992 වසරේ කැළණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ අනුර කුමාර දිසානායක මහතා විශ්වවිද්‍යාලය තුළ ශිෂ්‍ය සංගම්හි තනතුරු කිහිපයක් හොබවමින් දේශපාලන ක්‍රියාකාරිකයෙකු ලෙස සිසුන් අතර ජනප්‍රියත්වයට පත්ව සිටියා.
1995 වසරේ විද්‍යාවේදී උපාධිය ලබා ගනිමින් විශ්වවිද්‍යාල ජීවිතයට සමුදුන් අනුර කුමාර දිසානායක මහාත පූර්ණකාලීන දේශපාලනයට යොමුවුණා. ප්රගතිශීලී හා ජනතාවාදී දේශපාලන ධාරාව තුළ දුෂ්කරතා රැසකට මුහුණ දෙමින් ඔහු තම දේශපාලන ගමනේ ගෙන ගියේ මර්දන රැසකට ද මුහුණ දෙමින්.
අනුර කුමාර දිසානායක මහතාගේ දේශපාලන ගමන්මගේ තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 1997 වසරේ ඔහු ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට තෝරා ගැනුණා. ඉන් අනතුරුව එම පෙරමුණේ දේශපාලන මණ්ඩලයට ද ඇතුළත් වූ අනුර කුමාර දිසානායක මහතා දේශපාලනයට ප්‍රවේශයක් ලබා ගනිමින් 1999 වසරේ පැවති පළාත් සභා මැතිවරණයට මධ්‍යම පළාත සදහා ජනතා විමුක්ති පෙරමුණේ මහ ඇමති අපේක්ෂකයා ලෙසින් තරග වැදුනා.
2000 වසරේදී ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයෙකු ලෙස පළමුවතාවට පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඒ මහතා 2004 වසරේදී කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් යළි පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.
එම වසරේ පිහිටවූ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශු සම්පත් අමාත්‍යවරයා ලෙස පත්වූ දිසානායක මහතා ලාංකේය දේශපාලන ඉතිහාසයේ එතෙක් අත්නොවිදි විශාල ආදර්ශයක් ලබා දෙමින් අමාත්‍ය ධූරයේ කටයුතු කරනු ලැබුවේ බොහෝ දෙනාගේ ප්‍රසාදය ද හිමිකර ගනිමින්.
2008 වසරේදී අනුර කුමාර දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා ලෙස පත්වූ අතර 2010 වසරේදී ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයෙකු ලෙස යළි පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.
2014 වසරේ පෙබරවාරි 2 වනදා පැවැත්වූ ජනතා විමුක්ති පෙරමුණේ 7 වෙනි ජාතික සම්මේලනයේදී එම පෙරමුණේ නායකත්වයට පත්වීම ඔහුගේ දේශපාලන ගමන්මගේ තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කළා.
2015 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදුන අනුර කුමාර දිසානායක මහතා මන්ත්‍රිවරයෙකු ලෙස තේරී පත්වුණා.
2015 වසරේ සිට 2018 වසර දක්වා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ද හෙබවූ ඒ මහතා ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන හා දේශපාලන ක්‍රියාකාරීන් එක්කර ගනිමින් ජාතික ජනබලවේගය ආරම්භ කළේ නැවුම් දේශපාලන ප්‍රවේශයක් සනිටුහන් කරමින්.
2019 වසරේ පැවති ජනාධිපතිවරණයට ජාතික ජනබලවේගයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ අනුර කුමාර දිසානායක මහතා ඡන්ද හාරලක්ෂ දහඅටදහස් පන්සිය පනස් තුනක් ලබා ගත්තේ සියයට තුනයි දශම එකයි හයක ඡන්ද ප්‍රතිශතයක් සනිටුහන් කරමින්.
2020 වසරේ පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ද යළි පාර්ලිමේන්තුවට තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා 2021 වසරේ දෙසැම්බර් 20 වනදා පැවැත්වූ ජාතික ජනබලවේගයේ පළමු සමුළුවේදීම එහි නායකත්වයට පත්කර ගනු ලැබුවා.
ජාතික ජනබලවේගය ප්රගතිශීලී ජනතාවට එක්ව වැඩකළ හැකි දැවැන්ත මහජන ව්‍යාපාරයක් බවට පත්කරමින් ඒ මහතා මෙවර ජනාධිපතිවරණයට එහි අපේක්ෂකයා ලෙසින් ඉදිරිපත් වූයේ ජනතාවට නව පුනරුදයක මාවත විවර කිරීම අරමුණු කර ගනිමින්.
නිවැරදි දේශපාලන දැක්ම, නිවැරදි තීරණ ගැනීමේ හැකියාව, ආකර්ෂණීය සන්නිවේදන කුසලතාව හා පෞරුෂත්වය ඔහුටම ආවේණික වූ ලක්ෂණ වනවා.
සුවහසක් ශ්‍රී ලාංකීය ජනතාවට තියුණු දේශපාලන ආශ්වාදයක් ගෙන දෙමින් මෙවර ජනාධිපතිවරණයේදී දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක මහතා නව විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුයේ ඔහු ලබාදුන් පණිවුඩය ජනතාව මනාව වටහාගත් බව සනිටුහන් කරමින්.