ඉදිරි මහ කන්න 02ක් සඳහා MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් නොමිලයේ ලබා දීම සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම අද( 20) දින සිදුවී තිබෙනවා .
මෙරට වී වගාවට සහ බඩඉරිඟු වගාවට අත්‍යවශ්‍ය පොහොර වර්ගයක් වන බණ්ඩි පොහොර හෙවත් MOP පොහොර පසුගිය කන්න කිහිපයක් ගොවීන් විසින් වී වගාවට යොදා නොමැති බවයි සඳහන් වන්නේ .
සාමාන්‍යයෙන් වෙළඳපොළේ MOP පොහොර මිටියක මිල රුපියල් 8000-9000 අතර මිලකට අලෙවි කරනු ලබනවා .
මෙම මිල දරාගත නොහැකි නිසා බොහෝ ගොවීන් MOP පොහොර නොයෙදීම නිසා එමඟින් වී අස්වනුවලට බලපෑම් එල්ලවී තිබෙන බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ .
මෙම කාරණය සැළකිල්ලට ගනිමින් ඉදිරියට එන මහ කන්න 02ක් වී ගොවීන්ට සහ බඩඉරිඟු වගා කරන ගොවීන්ට MOP පොහොර නොමිලයේ ලබා දීම සඳහා රජය ලෝක ආහාර වැඩසටහන සමඟ සාකච්ඡා කර තිබෙනවා .
එහි ප්‍රතිඵලයක් වශයෙන් MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් මෙරටට නොමිලයේ ලබා දීමට ලෝක ආහාර වැඩසටහන තීරණය කර තිබෙන බවයි සඳහන් වන්නේ .