ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සෑමවිටම කටයුතු කළේ රටේ ජනතාව වෙනුවෙන් මිස මැතිවරණ ඉලක්ක කර නොවන බවත් රට යහපත් තත්ත්වයට ගෙන යාමට නම් දේශපාලන තීන්දු නොගත යුතු බව එතුමා දැඩි දේ විශ්වාස කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මිය පවසනවා.
මාලිමාවේ ආණ්ඩුවක් යටතේ ප්ලේන්ටි බොන්න, පටි තද කරගන්න සූදානම් වන ලෙස විජිත හේරත් සිදු කරන අනතුරු හැඟවීමෙන් මාලිමාව ජයග්‍රහණය කළහොත් නැවත රට 2022 වසරේ තිබූ තත්ත්වයට ගෙන යාමට බව පැහැදිලි යැයිද මන්ත්‍රීවරිය සඳහන් කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මිය මෙම අදහස් පළ කර සිටියේ කොළඹ මල්පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේ ඊයේ (16) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.
අද වන විට ආර්ථික වශයෙන් ස්ථාවරත්වයට පත් වී ඇති රට මාලිමාව ජයග්‍රහණය කරවා ආපස්සට හැරවීමට සහාය නොදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි එතුමිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කර ඇති වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නම් සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් එතුමාට පැහැදිලි ජයග්‍රහණයක් ලබා දිය යුතු බවද පෙන්වා දුන්නා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මිය මෙසේ පැවසුවා,
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉතා පහසුවෙන් රට මෙම තත්ත්වයට පත් ගෙනාවේ නැහැ. ඒ සඳහා සමහර අවස්ථාවලදී දැඩි තීන්දු ගැනීමට සිදුවුණා. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ සියල්ල කළේ රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් බව කිව යුතුයි. එහි ප්‍රතිඵල අපි අද අත්දකිනවා.
මේ ගෙනයන වැඩපිළිවෙළ ඉදිරි වසර පහ තුළත් මේ රටේ ක්‍රියාත්මක විය යුතු බව අප විශ්වාස කරනවා.
මේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකි නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා බව මේ රටේ ජනතාව විශ්වාස කරනවා. 2022 වසරේ දී ආර්ථික අවපාතයකට වැටුණු රට ගොඩ නැඟුවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කියන කාරණය ඔවුන්ට මතක තිබෙනවා.
2022 වසරේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ රට භාර ගන්නා අවස්ථාවේ මේ රට තිබුණ තත්ත්වය සිහිපත් කර බැලුවොත් බිත්තරයක් රුපියල් සීයයකට ගත් බව මතක් වෙනවා. සමහර අවස්ථාවන්වලදී පාන් රාත්තලක් හොයා ගන්න තිබුනෙ නෑ.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ රට භාර ගත්තේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය, සහ ඖෂධ දැවැන්ත හිඟයකට මුහුණ දුන් පරිසරයක. ඒ වගේම අනාගතය පිළිබඳව බලාපොරොත්තුවක් නැති, පොලී අනුපාතය දැවැන්ත ලෙස ඉහළ ගිය පෝළිම් ගැහුණ රටක් තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා භාරගත්තේ.
නමුත් මේ අවුරුදු දෙක තුළ දැඩි තීරණ ගනිමින්, ඒවායින් ජනතාව පීඩාවට පත් වන විට ඔවුන්ට සහන පවා ලබා දෙමින් අද රට මේ තත්ත්වයට ගෙනවිත් තිබෙනවා.
ජනතාවගේ දුප්පත්කම 25%කින් ඉහළ යනවිට, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමෘද්ධිය වෙනුවට එමෙන් තුන් ගුණයක් මුදල් වැඩිකර “අස්වැසුම” ලබා දීමට කටයුතු කළා. එම තීන්දු තුළ එතුමා බලාපොරොත්තු වුණේ පීඩනයට පත් වී සිටන ජනතාවට සහනයක් ලබා දීමටයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සෑමවිටම කටයුතු කළේ රටේ ජනතාව වෙනුවෙන් මිස මැතිවරණ ඉලක්ක කර නොවේ. ඉදිරි කාලසීමාව තුළ රට යහපත් තැනකට ගෙන යාමට නම් අපි දේශපාලන තීන්දු ගැනීම සුදුසු නැහැ කියා එතුමා විශ්වාස කළා.
අනුර කුමාර දිසානායකයි, ඔහුගේ ගෝලයෝයි කියන කතා ඇහුවම මාලාමාවට රට භාරදෙන්න පුළුවන්ද කියන ගැටලුව ජනතාවට ඇති වී තිබෙනවා. මාලිමාවේ විජිත හේරත් කියනවා, “අපි ප්ලේන්ටිය බීපු කාලෙක තමයි ජනාධිපතිතුමා කිරි එක්ක තේ එකක් බොන තැනට දැන් රට ගෙනත් තියෙන්නෙ” කියලා.
ඔවුන්ගේ ආණ්ඩුව යටතේම ප්ලේන්ටි බොන්න, පටි තද කරගන්න සූදානම් වෙන්න කියලා ඔවුන්ම අනතුරු හඟවනවා. එසේ නම් මාලිමාව ජයග්‍රහණය කරවා, නැවත මේ යන්න උත්සාහ කරන්නේ 2022 තිබූණු තැනටද? කියා මම ප්‍රශ්න කරනවා.
නිවැරදි නායකයකත්වයක් යටතේ නිවැරදි මුල්‍ය කළමණාකාරීත්වයක් සිදු නොවුණා නම්, අද බංගලාදේශයට වෙලා තියෙන දේ අනිවාර්යෙන් අපේ රටටත් සිදු වන බවට සැකයක් නැහැ.
ඒ නිසා කාන්තාවක් සහ මවක් ලෙස මම ඔබෙන් ඉල්ලා සිටින්නේ මෙම ජනාධිපතිවරණයේදී ඔබේ දරුවාත් මේ රටත් ගැන සිතා ඔබේ ඡන්දය භාවිතා කරන ලෙසයි. මේ රටේ සමස්ත ජනතාව ගේ අනාගතය පවතින්නේ ඔබේ වටිනා ඡන්දය මත බව මතක තබා ගන්නා.
සජිත් ප්‍රේමදාස කියන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් කැඩී ගිය කොටසක්. මේ අවස්ථාවේදී රටත් , රටේ දරුවන්ගේ අනාගතයත් ගැන සිතා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ජයග්‍රහණය කරවීමට සිලින්ඩරය ඉදිරියෙන් කතිරය ගහන ලෙස සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.