අවුරුදු 2200කට පෙර ලියන ලද මෙරට විශාලතම සෙල්ලිපිය වන දිඹුලාගල සෙල්ලිපිය පූර්ව බ්රාහ්මීය අක්ෂරවලින් ලියූ බවත්, එමඟින් මුලතන, දෙවතන, බදනනම අරිහතන වශයෙන් බැංකුවලට සමාන ආයතන තුනක් පිළිබඳව කරුණු හෙළි වී ඇති බවත් සෙල්ලිපිය කියවීම සඳහා පත් කළ විද්වත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසනවා.
එසේම මෙම සෙල්ලිපිය සද්ධාතිස්ස රජුගේ රාජ්‍ය සමයට අයත් වන අතර ශාසනය වෙනුවෙන් කරන ලද මහා පරිමාණ පරිත්‍යාග පිළිබඳව සඳහන් වන මෙතෙක් හමුවූ පැරණිතම සෙල්ලිපිය මෙය බවයි මහාචාර්යවරයා සඳහන් කළේ.
දිඹුලාගල නාමල් පොකුණ ප්‍රදේශයෙන් හමුවූ සෙල්ලිපිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියා.
මෙම ශිලා ලේඛනයේ අක්ෂර පේළි 11ක් හඳුනාගෙන ඇති අතර එහි අක්ෂර වර්ග 23ක්, සංකේත 2ක් සහ සිංහල ප්රාකෘත භාෂාව යොදාගෙන තිබෙන බව ද කරුණාසේන හෙට්ටිආරච්චි මහතා එහිදී සඳහන් කළා.
ලංකාවේ බැංකුවලට සමාන කළ හැකි කිසියම් වෙළඳ ආයතන, මූල්‍ය ආයතනය හා කෘෂි ආර්ථිකය, කුඹුරු බදු, බිම් බදු, ඉඩම් කොටස් ආරාමවලට පූජා කිරීම, එම බදු ආරාමවලට යොදාගත යුත්තේ කෙසේද යන්න පිළිබඳව මෙම සෙල්ලිපියේ විශාල තොරතුරු රැසක් අනාවරණය කරගෙන ඇති බවයි මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
මෙම සෙල්ලිපියේ අකුරු රැසක් ඛාදනයට ලක් වී තිබූ බැවින් එය කියවීමට අදාළ තාක්ෂණික පහසුකම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව නොමැති නිසා ඒ සඳහා පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ආචාර්ය අර්ජුන තන්තිලගේ මහතාගේ සහ සුලේකෝ ආයතනයේ සහයෝගය ලබාදුන් බව පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත ඩී. මැන්දිස් මහතාප්රකාශ කළා
එසේම මෙම සෙල්ලිපියේ ආරක්ෂාවට වැටක් ඉදිකර තිබෙන බවත්, මෙම වසර අවසන් වීමට පෙර සෙල්ලිපිය ආරක්ෂා කිරීමට ආවරණයක් සකස් කරන බවත් අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කලා.