මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්තිය අපනයන ආර්ථිකයක්ද, ආනයන ආර්ථිකයක් ද කියා තමා විමසූ විට ඊට පිළිතුරු නොදෙන අනුර දිසානායක තමාට විවාදයකට ඇරයුම් කරන බවත්, තමන් සමඟ විවාදයට පෙර අනුර, සුනිල් හඳුන්නෙත්ති සහ හර්ෂණ සුරියප්පෙරුම එක්ව වෙනම විවාදයක් සිදු කර තම නිවැරදි ආර්ථික ප්‍රතිපත්තිය රටට කිවයුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඉන් පසුව තමා මීට පෙරද සඳහන් කළ ආකාරයට අනුර, තමා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය එක්වන වීඩියෝ සංවාදයක් සඳහා වේලාව වෙන් කරගත හැකි බව පැවසූ ජනාධිපතිවරයා කිසිවෙකුට කථා කිරීමට වේලාවක් ඉතිරි නොකරන නමුත් සජිත්ට ද ඊට ඇරයුම් කළ හැකි බව ද පෙන්වා දුන්නා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ විද්වතුන් සහ ව්‍යාපාරික ප්‍රජාව සමඟ කුරුණෑගල අස්ලිය ගෝල්ඩන් ක්රැසෙන්ඩා හෝටලයේ ඊයේ (10) පස්වරුවේ පැවති හමුවකට එක් වෙමින්.
එසේම වියදම රුපියල් බිලියන 8,900ක් සහ ආදායම රුපියල් බිලියන 4,900ක්ව රුපියල් බිලියන 4000ක හිඟයක් ඇති, රටේ ආර්ථිකය බිඳ දමන අය වැයක් සිය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ඉදිරිපත් කළේ ඇයිදැයි අනුර කුමාර දිසානායකගෙන් ප්‍රශ්න කළ ජනාධිපතිවරයා වේදිකාවල බොරුවට කෑ නොගසා තම නිවැරදි ආර්ථික ප්‍රතිපත්තිය රටට ඉදිරිපත් කළයුතු බවද අවධාරණය කළා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
මෙම කුරුණෑගල දිස්ත්‍රික්කය සමඟ මගේ දීර්ඝකාලීන සම්බන්ධයක් තිබෙනවා. 1978 වසරේ ගම්පහ ආරම්භ කළ දියුණුව අප මෙම කුරුණෑගල ප්‍රදේශයට ද ගෙන එනවා. එම වැඩකටයුතු ඉදිරියේදී ආරම්භ වෙනවා.
මීට වසර දෙකකට පෙර මට මොකක්ද වුණේ කියා මෙහිදි ප්‍රශ්නයක් මතු කළා. මට වුණ දේ නොවෙයි, සජිත්ට සහ අනුරට මොකක්ද වුණේ කියලයි අහන්න ඕන. ජනතාව ආහාර, ඖෂධ, ඉන්ධන, ගෑස් හා පොහොර නැතිව දුක් විඳින විට සජිත්ට හා අනුරට ජනතාව පිළිබඳ දුකක් වේදනාවක් දැනුණේ නැද්ද? ජනතාව වෙනුවෙන් යමක් කළයුතුයි කියා ඔවුන්ට හිතුනේ නැද්ද? ඔවුන් එදා එම වැඩකටයුතු කළානම් අද මම මෙතන නැහැ. ඔවුන් වගකිම නිසි ලෙස ඉටු නොකළ නිසා තමයි එක මන්ත්‍රී ධූරයක් තිබු පක්ෂයක මට මේ රටේ ජනාධිපති ධුරයේ වගකීම භාර ගැනීමට සිදු වුණේ.
එහිදී මට දේශපාලන පක්ෂ රැසක සහාය ලැබුණා. එම සහයෝගය සමග මම රටේ ආර්ථිකය ඉදිරියට ගෙන ආවා. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඉවත් වූ අවස්ථාවේ කථානායකවරයාව භාරකාර ජනාධිපතිවරයා ලෙස පත් කර ගනිමින් මැතිවරණයකට ගියානම් මොකක්ද වෙන්නේ. එම බලයේ හිදැස නිර්මාණය වුවානම් අද බංග්ලාදේශය පත්ව සිටින තත්ත්වයට එදා අපටත් පත්වීමට සිදු වෙනවා.
අපි රටේ වගකීම භාරගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ඇතිව රටේ ආර්ථිකය ඉදිරියට ගෙන ආවා. ලබන වසරේ දී ජනතාවගේ ජීවන බර තවත් සැහැල්ලු කිරීමට අප කටයුතු කරනවා. ඒ වගේම රට පුරා ආයෝජන කලාප ඇති කිරීම, කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම අප සිදු කරනවා. එසේම තරුණ තරුණියන්ට රැකියා අවස්ථා උදා කර දෙනවා.
අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා අනුව ක්‍රියාකරනවා නම් අපට ණය ලබා ගැනීමට තිබෙන අවස්ථා සිමා සහිතයි. ආණ්ඩුව සකස් කළ අය වැය අනුව ඉදිරියේ දී මෙරට වියදම රුපියල් බිලියන 6,800යි. ආදායම රුපියල් බිලියන 5,100යි. අය වැය පරතරය රුපියල් බිලියන 1700යි. එය දළ දේශීය නිෂ්පාදනයෙන් 5.2%යි. ඒ නිසා කිසි බයක් නැතිව අපට මේ අයවැය පරතරය පියවා ගැනීමට හැකියාව තිබෙනවා.
නමුත් මාලිමාව ලබා දෙන බව කියන දේවල් දෙන්න ගියොත් ඔවුන්ගේ වියදම රුපියල් බිලියන 8,900ක් වෙනවා. ඒ වගේම බදු සහන දෙන බව ඔවුන් කියනවා. එහෙම වුණොත් ඔවුන්ගේ ආදායම වන්නේ රුපියල් බිලියන 4,900යි. එවිට ආදායම සහ වියදම අතර පරතරය රුපියල් බිලියන 4000ක් වෙනවා. එවිට අය වැය පරතරය දළ දේශීය නිෂ්පාදනයෙන් 11.9%යි. ඉතින් ඔවුන් ආර්ථිකය ඉදිරියට ගෙන යන්නේ කොහොමද?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගෙන තිබෙන කොන්දේසි කඩ කර වෙළෙඳ පොළේ මුදල් ගන්න ගියොත් පොලිය 25%ක් වෙනවා. ඔවුන් ලබා දීමට සූදානම් වන වෙනස මෙයයි. මේවා කරන්න ගියොත් මුලින් වෙන්නේ රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය රුපියල් 500ක් දක්වා ඉහළ යාමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කොන්දේසි කඩ කිරීම නිසා ඔවුන්ගේ සහාය ද ලැබෙන්නේ නැහැ. එවිට මෙරට ආර්ථිකය කඩා වැටෙනවා.
රටේ ආර්ථිකය ගොඩනගන්න නම් අපි අපනයන ආර්ථිකයකට යා යුතුයි. අපේ ප්‍රතිත්තිය එයයි. පසුගිය දිනක අනුර කුමාර දිසානායකත් කැළණිය ප්‍රදේශයේ දී ප්‍රකාශ කළා එයත් අපනයන ආර්ථිකයක් ක්‍රියාත්මක කරනවා කියලා. නමුත් නිදහස් වෙළඳ ගිවිසුම් අහෝසි කරන බවට ඔහුගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් කර තිබෙනවා. වෙළෙඳ ගිවිසුම් නැතිව අපනයන ආර්ථිකයකට යන්නේ කොහොමද, භාණ්ඩ පිටරට යැවීමේ සහනය ලැබෙන්නේ නිදහස් වෙළෙඳ ගිවිසුම් නිසයි.
අපි ආර්ථික පරිවර්තන පනත ගෙන ආ අවස්ථාවේ අපනයන ආර්ථිකය මේ රටේ ව්‍යවස්ථාවට විරුද්ධයි කියලා සුනිල් හඳුන්නෙත්ති හා හර්ෂණ සුරියප්පෙරුම ගිහින් නඩු දැම්මා.
මම දැක්කා අනුර ආණමඩුවේ දී මට විවාදයකට ආරාධනා කර තිබෙනවා. ඔවුන් අපනයන ආර්ථියකක්ද, ආනයන ආර්ථිකයක් ද ක්‍රියාත්මක කරන්නේ කියලා නොදැන මම කොහොමද විවාදයකට යන්නේ.
ඒ නිසා මම යෝජනා කරනවා හිටපු කෘෂිකර්ම ඇමති අනුර දිසානායක, සුනිල් හඳුන්නෙත්ති සහ හර්ෂණ සුරියප්පෙරුම අතර විවාදයක් පවත්වා ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය අපනයන ආර්ථිකයක් ද, ආනයන ආර්ථිකයක් ද කියා රටට දැනුම් දෙන්න කියලා.
ඒ බව දැනුම් දුන් පසු, මම මීට පෙර සඳහන් කළ පරිදි අනුර කුමාර දිසානයකයි, මමයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකර අධ්‍යක්ෂවරිය ඇතුළු අප සියලුදෙනා වීඩියෝ සංවාදයකට වේලාව වෙන් කර ගනිමු. ඒකට මම සූදානම්. මමයි
මෙම යෝජනාව ගෙන ආවේ.
අවශ්‍ය නම් අපි සජිත් ප්‍රේමදාසවත් ගෙන්න ගමු. සජිත් කථා කරන්න පටන්ගත්තහම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකර අධ්‍යක්ෂවරියට කථා කරන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒත් අපි සජිත්ට එන්න කියමු.
එසේනම් තමන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය අපනයන ආර්ථිකයක්ද, ආනයන ආර්ථිකයක්ද කියා අනුර කුමාර අපට කිවයුතුයි. ආර්ථිකය කඩලා රට බංකොළොත් කරන අය වැයක් ගෙනාවේ ඇයි කියා මම අනුර දිසානයකගෙන් ප්‍රශ්න කරනවා. ඒ නිසා වේදිකවේ කෑ ගහන්නේ නැතිව ආර්ථිකය ගැන නිවැරදි ප්‍රතිපත්තියක් ප්‍රකාශ කරන ලෙස අනුර කුමාර දිසානායකට මම කියනවා.