ජනතාවගේ දුප්පත්කම නැති කිරීමට නොව ඔවුන්ගේ ආදායම් මාර්ග ඉහළ නංවමින් පොහොසත් කිරීම වෙනුවෙන් සහන ලබාදීම තම ප්‍රතිපත්තිය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
සජිත්ගේ සහ අනුරගේ ප්‍රතිපත්තිය ජනතාව සැමදා දුප්පත් ජනතාවක් ලෙස තබා ගනිමින් ඔවුන්ගේ දේශපාලන අරමුණු ඉටු කර ගැනීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එළැඹෙන ජනාධිපතිවරණයේ දි මේ රටේ ජනතාව තමා සමඟ එක්විය යුත්තේ එම වෙනස වෙනුවෙන් බවද කියා සිටියා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (10) පස්වරුවේ මැදවච්චියේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමින්.
දුප්පත් ගම්මාන වෙනුවට පොහොසත් ගම්මාන ඉදිරි දශකය තුළ රජ රට ඇති කරමින් රජ රට ප්‍රදේශයේ පැවති අතීත සශ්‍රිකත්වය නැවත එම ප්‍රදේශයට ගෙන එන බවද ජනාධිපතිවරයා මෙහිදී ප්රකාශකළා.
ඒ වෙනුවෙන් ගොවි ජනතාව නඟා සිටුවීමේ වැඩපිළිවෙළ රජය මේ වන විට ආරම්භ කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙවර ජනාධිපතිවරණය පක්ෂයක් දිනවන මැතිවරණයක් නොව රටේ අනාගතය දිනවන මැතිවරණයක් බවත්, පක්ෂ එදිරිවාදිකම් වලින් තොරව රටේ ජයග්‍රහණය තහවුරු කිරිමට සියලුදෙනා එක්විය යුතු බවත් කියා සිටියා.
ජන රැලිය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
මේ රටේ ජනතාව දුක් විඳිනවා බැලීමට මේ වේදිකාවේ සිටින අපි කවුරුත් කැමති වුණේ නැහැ. ඒ නිසා අප සියලුදෙනා එකට එක් වුණා. අපි මේ රටේ ජනතාව ජීවත් කරවීමේ වගකීම භාර ගත්තා. වෙන කවුරුවත් එය සිදු කළේ නැහැ. සජිත් හා අනුර
කළේ මේ රටේ ජනතාව හාමතේ තැබිමයි. ඉන්ධන, පොහොර, ඖෂධ සපයාගත නොහැකිව ජනතාව දුක් විඳින විට ඔවුන් පැන ගියා.
ඔවුන් ජනතාව අනාථ කර පැන යද්දී අපි රටේ වගකීම භාරගත්තා. අද අපි ජනතාවට සහන ලබා දී තිබෙනවා. ලබන වසරේ දී ජනතාව වෙනුවෙන් තවත් සහන ලබා දීමට කටයුතු කරනවා.
මේ රටේ ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යාමට නම් අප ඉදිරි වසර 05 තුළ අපනයන ආර්ථිකයකට යොමු විය යුතුයි. අපි ඒ වැඩපිළිවෙළ “පුළුවන් ශ්‍රී ලංකා” වැඩසටහනට ඇතුළත් කර තිබෙනවා.
ඒ වගේම රජ රට ජනතාව පොහොසත් කිරීම වෙනුවෙන් අපි සින්නකර ඉඩම් අයිතිය ලබා දීමේ උරුමය වැඩපිළිවෙළ ආරම්භ කළා. ඒ වගේම කෘෂි නවීකරණ වැඩසටහන සමඟ මේ ප්‍රදේශයේ අස්වැන්න වැඩි කර ගොවි ජනතාවට හොඳ ආදායම් මාර්ග සකසා දීමේ වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා.
දුප්පත් ගම්මාන වෙනුවට පොහොසත් ගම්මාන ඉදිරි දශකය තුළ අපි මේ රජ රට ප්‍රදේශයේ ඇති කරනවා. ඒ අනුව අතීත රජ රට පැවති සශ්‍රිකත්වය නැවත මේ ප්‍රදේශයට ගෙන ඒම අපේ අරමුණයි. ඒ වෙනුවෙන් අපි ගොවි ජනතාව නඟා සිටුවනවා.
ඔවුන්ට ණය සහන ලබා දෙනවා. දුප්පත්කම නැති කර ගන්න මම සහන දෙන්නේ නැහැ. අපි සහන දෙන්නේ ජනතාවගේ ආදායම් වැඩි කර ගැනීමටයි. අපි සහනාධාර දෙන්නේ ජනතාවට පොහොසත් වන්නයි. එවැනි ප්‍රතිප්තතියක් සජිත් හෝ අනුර ළඟ නැහැ.
ඒ වගේම මේ ප්‍රදේශවල විශාල කර්මාන්ත කලාප ඇති කර නව ආර්ථිකයක් ඇති කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
මම දේශපාලනය ඉගෙන ගත්තේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගෙන්. ඒ වගේම සජිත්ගේ තාත්තා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගෙන්. ජනතාව කුසගින්නේ ඉන්නවනම් ආහාර දෙන්න, ආදායම් නැත්නම් ආදායම් මාර්ග සලසා දෙන්න කියා එම නායකයන් අපට ඉගැන්වුවා. ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස වැනි එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ගේ ප්‍රතිපත්ති අද සජිත් ළග නැහැ. එම ප්‍රතිපත්ති තිබෙන්නේ අපි ළඟයි. අප මෙම ජනාධිපතිවරණයේ දී ජනතා වරම ඉල්ලා සිටින්නේ එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සඳහායි. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා මේ රටේ ජනතාව දුක් විඳින විට පැන ගියේ නැහැ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ඩී.එස්. සේනානායක මැතිතුමාගේ සමයේ සිට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මට සහාය ලබා දෙන ලෙස සියලු එක්සත් ජාතික පාක්ෂිකයන්ට මම ආරාධනා කරනවා.
දැන් දේශපාලන එදිරිවාදිකම් අවශ්‍ය නැහැ. ජනතාවගේ කුසගින්න නිවීමට අප සියලුදෙනා එකට එක්විය යුතුයි. ඒ නිසා ඔබේ සහ ඔබේ දරුවන්ගෙ අනාගතය ගැන සිතා සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරය ඉදිරිපසින් කතිරය ගහන්න කියා මම
සියලුදෙනාගෙන් ඉල්ලනවා