Gen Z පරපුර සමාජයට ඇතුල් කර ගනිමින් රට ගොඩනැඟීමේ වගකීම භාරගත හැකි පිරිසක් බවට පත් කිරීම තම අරමුණ බවත්, එවිට තමන්ට අවශ්‍ය සමාජය තමන්ටම නිර්මාණය කර ගැනීමට මෙරට තරුණ තරුණියන්ට අවස්ථාව උදාවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ලොව අනෙක් රටවල් මෙන් රටේ අනාගතය නිර්මාණය කර ගැනීමේ අවස්ථාව තරුණ පරපුරට ලබාදිය යුතු බවත්, ඒ වෙනුවෙන් වූ මාර්ගය තමා සකසා දෙන බවත් සඳහන් කළ ජනාධිපතිවරයා බොරු සටන් පාඨ කියමින් සිදු කරන සාම්ප්‍රදායික දේශපාලනය නිසා ලොව දියුණු රටවලට වඩා ඉදිරියෙන් සිටි අප රට පසුපසට ඇද වැටුණු බවද පෙන්වා දුන්නා.
පසුගිය වසර දෙක තුළ ඇති කරගත් මෙරට ආර්ථික ස්ථාවරත්වය තහවුරු කරමින් ඉදිරියට ගෙන නොගියහොත් නැවත රටේ ආර්ථිකය කඩා වැටෙන බව පෙන්වා දුන් ජනාධිති රනිල් වික්‍රමසිංහ මහතා, එබැවින් රටේ සහ තරුණ පරපුරේ අනාගතය තීරණය කිරීමට තමාට ඉදිරි වසර 05ක කාලය අවශ්‍ය බවද සඳහන් කළා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (09) පස්වරුවේ කොළඹ ගාලුමුවදොර හෝටලයේ පැවති #AskRanil තරුණ හමුවේදී යොමු වූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.
2025 වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී නොමැති බවට පළවන වාර්තා සාවද්‍ය බවත්, අදාළ අනුමැතිය මේ වන විටත් ලැබී ඇති බවත් මෙහිදී මතු කෙරුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ජනාධිපතිවරයා පැවසුවා.
මෙහිදී තරුණ තරුණියන් යොමු කළ ප්‍රශ්න සහ ජනාධිපතිවරයා ලබා දුන් පිළිතුරු මෙසේය,
ප්රශ්නය
ඔබතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ථෙරවාදී ආර්ථිකයක් පිළිබඳ සඳහන් වෙනවා. මොකක්ද මේ ථෙරවාදී ආර්ථිකය කියන්නේ?
පිළිතුර
එය ප්‍රතිපත්ති ප්‍රකාශයක් නෙවෙයි. එය වහාම ක්‍රියාත්මක කළ හැකි වැඩසහනක්. සැප්තැම්බර් 22 වනදා සිට මෙහි සඳහන් වැඩසටහන් ගණනාවක් ක්රියාක්මක කළ හැකියි. අනෙක් අයගේ තිබෙන්නේ ප්‍රතිපත්ති මිස මොනවද කරන්නේ කියා සඳහන් වන්නේ නැහැ.
ථෙරවාද ආර්ථිකය ලෙස හඳුන්වන්නේ වෙළඳ ආර්ථිකයකටයි. බුදු රජාණන් වහන්සේගේ ධර්මය විවෘත ධර්මයක්. එය වෙළෙඳාමට සම්බන්ධයි. එදා වෙළෙඳ සමාගම්වලට ධර්මයක් තිබුණේ නැහැ. ඔවුන් පැරණි කුල ක්‍රමය අනුව වෙළෙඳ කුගය ලෙස කටයුතු කළා.
බුදු රජාණන් වහන්සේගේ දේශනාව නිසා ලෝකයේ හැම තැනම වෙළෙඳාම දියුණු වුණා. බුදු රජණන් වහන්සේගේ පණිවිඩය මුලින්ම ශ්‍රී ලංකාවට ගෙනාවේ තපස්සු-භල්ලුක වෙළෙඳ දෙබෑයන් විසින්. වෙළඳාම සමඟ එක් වූ ආගම් ධර්ම දෙකක් තිබෙනවා. ඉන් එකක් වන්නේ බුද්ධාගමයි. අනෙක ඉස්ලාම් ධර්මයයි.
වෙළෙඳ කේන්ද්‍රයක් ලෙස රජරට දියුණු වුණා. එක පැත්තකින් බටහිරින් ආවා . අරාබි පැත්තෙන් ඇවිල්ලා මාන්තායිවලට භාණ්ඩ ගෙනවිත් මල්වතු ඔය හරහා අනුරාධපුරයට ගෙනාවා. චීනය පැත්තෙන් ත්‍රිකුණාමලයට ගෙනවිත් එතැනින් අනුරාධපුරයට ගෙනාවා.
ඔවුන්ට ආපසු යාමට මෝසම් සුළඟ ආරම්භ වන තුරු බලා ඉන්න සිදු වුණා. ඒ නිසා මාස ගණනාවක් අනුරාධපුරයේ නැවතුණා. ඒ අනුව ඒ කාලේ හොඳ සංචාරක ව්‍යාපාරයක් තිබුණා විය හැකියි. ඒ නිසා අනුරාධපුරය විශාල වෙළෙඳ රාජධානියක් බවට පත් වුණා. අපි පල්ලව සහ චෝල යන රාජ්‍ය සමඟ වෙළෙඳාම සඳහා සටන් කළා. ඒ වගේම පරාක්‍රමබාහු රජතුමා මියන්මාර්යට හමුදා යැව්වා. අපට
අවශ්‍ය වුණේ වෙළඳාම සහ මුහුදු ප්‍රදේශය පාලනය කිරීමටයි.
මේ සියල්ලම රජරට රාජධානිය කඩා වැටෙන විට විශේෂයෙන්ම ථෙරවාද බුදු දහමේ බලපෑම් ඇතුව තායිලන්තයේ ද ඒ හා සමාන වෙළඳ රාජධානියක් ඇති වුණා.
තායිලන්තය විවෘත ආර්ථිකය පිළිගත්තා. අපිට වඩා දියුණු වුණා. ලංකාව එක තැන පල් වුණා. දැන් අපි දියුණු විය යුතුයි. ඔබ සියලු දෙනාට හොඳ අනාගතයක් තිබිය යුතුයි.
2019 වර්ෂයේ අපේ දළ දේශීය නිෂ්පාදනය වුනේ ඩොලර් බිලියන 89යි. මම උත්සාහ කරන්නේ 2050 වර්ෂය වන විට එය ඩොලර් බිලියන 350ක් 400ක් කිරීමටයි. ඒ වන විට අපි නැති වුණාට අපි මාර්ගය සකස් කර දෙන්නම් ඔබ හොඳ ශක්තිමත් රාජ්‍යයක් ගොඩ නඟන්න.
ප්රශ්නය
ආර්ථිකය වර්ධනය වීමේදී ඒ තුළ තරුණයින් වෙනුවෙන් පවතින ඔබතුමා සතු සැලැස්ම කුමක්ද?
පිළිතුර
මට තිබෙන සැලැස්ම නම් Gen Z පරපුර, මේ සමාජයට ඇතුල් කරගනිමින් සමාජය ගොඩනැගීමේ වගකීම භාරගැනීමේ පිරිසක් බවට පත් කිරීමටයි. තමන්ට අවශ්‍ය අනාගතය තමන් තීරණය කළ යුතුයි. මම වයස අවුරුදු 20 පමණ කාලයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ පාලනය පිළිබඳ ගැටළු පැවතුණා. අපි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා සමඟ වැඩ කළා. එතුමා ජනාධිපති බවට පත්වුණා. ඉන් අනතුරුව අපට අවශ්‍ය ආකාරයට සමාජය නිර්මාණය කරන ලෙස එතුමා අපට කිව්වා.
එතුමා ආර්ථිකය විවෘත කළා. මහවැලි ව්‍යාපාරය ආරම්භ කළ. මට ඔබෙන් ඇසීමට තිබෙන ප්රශ්නය නම් තරුණයන් ලෙස තවත් වසර 25කින් ඔබට අවශ්‍ය සමාජය කුමක්ද කියායි.
ඒ වන විට මෙහි සිටින බහුතරයක් දෙනාට අවම වශයෙන් වයස අවුරුදු 50ක් පමණ වෙනවා. ඇතැමුන්ට මුණුපුරු මිණිපිරියන්ද සිටිය හැකියි. තමන්ට අවශ්‍ය සමාජය කුමක්ද යන්න තමන් දැනගත යුතුයි. මගේ උත්සාහ වන්නේ පසුගිය වසර දෙකෙහි මුහුණ දුන් අර්බුදකාරී තත්ත්වයෙන් පසුව ජනතාවට ජීවත් විය හැකි සමාජයක් ගොඩනැගීමයි. ඒ වගේම රටේ ආර්ථිකයත් දියුණු කිරීමයි.
අපට හැමදාම දුප්පත් රටක් වීමට බැහැ. මගේ කුඩා කාලයේදී ජපානය අපට පසුපසින් සිටියා. අද ඔබට පසුපසින් සිටින්නේ කවුද? මියන්මාරය, ඇෆ්ගනිස්ථාන සහ ලාඕසයයි. අපි ඉක්මනින් ක්‍රියාත්මක නොවුණහොත් ඔවුන්ද අපව පසුකරගෙන යයි.
ඒනිසා අප දේශපාලනය කිරීමේදී බොරුවට සටන්පාඨ කියවීමෙන් ඵලක් නැහැ. අනෙක් රටවල් මෙන් අප ගොඩනඟන අනාගතය පිළිබඳ තීරණයක් ගත යුතුයි. මෙවැනි තත්ත්වයක් ඇතිවුණේ අපි බොරු කළ නිසයි.
සෑම දෙයක්ම නොමිලයේ දීමකින් තොරව, සෑම දෙයකටම ණය ගන්නේ නැතිව, අප මේ ආර්ථිකය ගොඩනැඟිය යුතු බවට සත්‍ය පැවසුවා නම්, මේ තත්ත්වය උදාවන්නේ නැහැ. අන්තිමට ණය ගෙවීමට නොහැකිව අද මේ පරපුරට එහි බර දැරීමට සිදුව තිබෙනවා. එනිසා එම තත්ත්වය වළක්වාගනිමින් හොඳ සමාජයක් නිර්මාණය කිරීමට මූලික වන සමාජය ගමන් කරන මාර්ගය සකස් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එය ඉදිරියට ගෙන යාම ඔබේ යුතුකමයි.
ප්රශ්නය
රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී නැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවා ප්‍රකාශ කළා. එය ඇත්තද?
පිළිතුර
එය කැබිනට් මණ්ඩලය තීරණය කර අවසන් බව කිව යුතුයි. මැතිවරණ නිරීක්ෂකයින්ට මේ සම්බන්ධයෙන් තියෙන මැදිහත් වීම මොකක්ද කියලා මම දන්නේ නැහැ. මේ මැදිහත්වීම් ස්වාධීනද දේශපාලනික ද කියලා ගැටළුවක් ඇති වෙනවා. වැටුප් වැඩි කිරීම් සම්බන්ධයෙන් ඉල්ලීම් තිබුණා. ඒ සම්බන්ධයෙන් උදය ආර්. සෙනවිරත්න කමිටුව පත් කළා. අප ක්‍රියාත්මක කරන්නේ එම කමිටුවේ ලබා දුන් වාර්තාවයි.
2022 වර්ෂයේ මුදල් තිබුණේ නෑ. ඒ වර්ෂයේ කටයුතු කළේ බොහෝ වියදම් අඩු කරලයි. 2022 දී අපේ දළ දේශීය නිෂ්පාදය ඩොලර් බිලියන 76කට පහත වැටී තිබුණා. එය 2023 වර්ෂයේදී ඩොලර් බිලියන 84 දක්වා ඉහළ ගියා.
ඉන් ලැබුණ මුදල් සහ ලෝක බැංකුවෙන් ලබා ගත් මුදලවලින් පළමුවෙන්ම සිදු කළේ අඩු ආදායම්ලාභීන්ට ‘අස්වැසුම’ ලබා දීමයි. මේ වසර වන විට තව දුරටත් අපේ දළ දේශීය නිෂ්පාදනයේ දියුණුවක් දක්නට ලැබුණා. ඒ තක්සේරුව මත ජනවාරි මාසයේ රජයේ සේවකයින්ට රුපියල් 5000ක දීමනාවක් ලබා දීමට කටයුතු කළා.
අප බලාපොරොත්තු වූවාටත් වඩා සාර්ථක ලෙස ආර්ථිකය ක්‍රියාත්මක වන බව මාර්තු මාසය වන විට අපට අවබෝධ වුණා. ඒ නිසා රුපියල් 10,000ක් ලබා දුන්නා. 2025 වර්ෂය වන විට අපට මුදල් තිබෙනවා. ඒ අනුව උදය ආර්. සෙනවිරත්න වාර්තාව ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් මුදල් අපට තිබෙනවා.
රජයේ සේවකයින්ටත් අපි සහනයක් ලබා දිය යුතුයි. 2022 වර්ෂයේදී රුපියල් 185ක් වූ ඩොලරයේ අගය රුපියල් 370 දක්වා ඉහළ ගියා. ඒ කියන්නේ 100% කින් වැඩි වුණා. ඒ වගේම බඩු මිලත් වැඩි වුණා. නමුත් අපට වැටුප් වැඩි කළ හැකි වුණේ නැහැ. ඒ සඳහා මුදල් තිබුණේ නැහැ. ඒ නිසා ඔවුන්ගේ ජීවන බර වැඩි වුණා.
මෙවන් දීමනාවලින් ඔවුන්ට සහන දීමට කටයුතු කරනවා. මේ ආකාරයට තවත් අවුරුද්දක් ක්‍රියාත්මක විය යුතුයි.
අපි ඉන්නේ ගොඩක් අමාරු තැනක. මෙවැනි තත්ත්වයක් ඇති වුණාම වැදෙන්නෙම සාක්කුවට. මොකද භාණ්ඩ මිල ඉහළ යනවා. ඒ අනුව කාටවත් ප්‍රමාණවත් මුදල් නැහැ. අය්. එම්. එෆ් සංවිධානය ප්‍රකාශ කළේ මෙය 2027 දී සිදු කරන්න කියලයි. නමුත් මම කිව්වා එය 2025/26 කාලය තුළ සිදු කළ යුතු බව.
ප්රශ්නය
ජනාධිපතිතුමනි, ඔබතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ හම්බන්තොට අක්කර 4000ක ආයෝජන කලාපයක් පිළිබඳ සඳහන් කර තිබෙනවා. පසුගිය රාජපක්ෂ පාලන සමයේදීද මෙවැනි යෝජනා පිළිබඳ සඳහන් කෙරුණා?
පිළිතුර
අපට නවීන කර්මාන්ත ශ්‍රී ලංකාව තුළට ගෙන ඒමට තිබෙනවා. ඒ සඳහා පහසුකම් පවතින ආයෝජන කලාප ඇති කිරීමට තිබෙනවා. මම බලාපොරොත්තු වන්නේ විශාල ආයෝජන කලාප ඇති කිරීමටයි.
අපි කටුනායක සහ බියගම කලාප අක්කර 400 බැගින් යොදවා මුලින්ම ආරම්භ කළා. ඊට වඩා විශාල ප්‍රමාණයේ ආයෝජන කලාප ඇති කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
පළමු නව ආයෝජන කලාපය බිංගිරියේ අක්කර 1000ක භූමි ප්‍රදේශයක ආරම්භ කරනවා. රට වටේම ඒ ආකාරයෙන් ආයෝජන කලාප ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා.
ඔබට කැමති ස්ථානයකට ගොස් ඒ හා සම්බන්ධ විය හැකියි. යාපනයේද අක්කර 1000ක් මේ වන විට වෙන් කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතිනවා.
ත්‍රිකුණාමලයේ කප්පල්තුරේ ප්‍රදේශයේ අක්කර 1000ක් පවතිනවා. අවශ්‍යනම් එම භූමි ප්‍රමාණය තවත් වැඩි කළ හැකියි. හම්බන්තොට ප්‍රදේශයේ වරායක් සහ ගුවන්තොටුපොළක් තිබෙනවා. එනිසා එම පහසුකම්වලින් ප්‍රයෝජන ගත යුතුයි.
ඒ අනුව හම්බන්තොට සහ මොනරාගල යන ප්‍රදේශවලින්ද අක්කර 10,000ක් පමණ වෙන් කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ සමඟ විශාල කර්මාන්ත ආර්ථිකයක් හම්බන්තොට ප්‍රදේශයට ලැබෙනවා.
කර්මාන්ත නගරයක් ලෙස මෙම කටයුතු ලබන වසරේදී ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මේ නිසා හම්බන්තොට ප්‍රදේශයට අලුත් ආර්ථිකයක් ඇතිවෙනවා. මේ සඳහා අවශ්‍ය පිරිස් පුහුණු කරවීමට ද අපට අනාගතයේ කටයුතු කිරීමට තිබෙනවා. ත්‍රිකුණාමලය සහ හම්බන්තොට සංවර්ධනයට අදාළ සැලසුම් සිංගප්පූරුවේ සුබානා ජුරොන්ග් සමාගම හරහා සකස් කර තිබෙනවා.
ප්රශ්නය
Gen Z පරපුර ලෙස අපි ඇයි ඔබතුමා මීළඟ ජනාධිපති ලෙස තෝරා ගත යුත්තේ ඇයි?
පිළිතුර
ඔබතුමිය ඊට හේතුවක් කියන්න.
තරුණියගේ පිළිතුර
පසුගිය වසර දෙක තුළ රට ස්ථාවරත්වයකට පත් කිරීම සඳහා ඔබතුමා රටේ ආර්ථිකය සම්බන්ධයෙන් සාධනීය වැඩ කොටසක් කර පෙන්වා තිබෙනවා. අප බලාපොරොත්තු වන තැනට රට ගෙන ඒමට ඔබතුමාට හැකි බව මම විශ්වාස කරනවා. ඔබතුමාගේ වචනයෙන්ම මම කැමතියි දැන ගන්න මේ ගැන.
ජනාධිපතිවරයා
මම මේ රට භාර ගෙන සාමාන්‍ය ජන ජීවිතයක් මේ වන විට ඇති කර තිබෙනවා. බඩු මිල වැඩිවීම වැනි ප්‍රශ්න කිහිපයක් තවමත් තිබෙනවා. නමුත් ආර්ථිකයේ ස්ථාවරභාවය තහවුරු කළ යුතුයි. එය තහවුරු නොකළහොත් ආර්ථිකය කඩා වැටෙනවා.
ආර්ථිකය කඩා වැටුණහොත් නැවත එදා තත්ත්වයට පත් වෙනවා. ඔබේ අනාගතය තීරණය කිරීමට මේ වසර පහ අවශ්‍යයි. ස්ථාවරභාවය තහවුරු කිරීම ප්‍රමාණවත් නැහැ. තහවුරු කිරීමෙන් පමණක් අපි කොහොමද අපට අවශ්‍ය විදේශ විනිමය ලබා ගන්නේ?
අපේ ආනයනවලට ගෙවීමට අපේ ආදායම ප්‍රමාණවත් නැහැ. අපේ අපනයන ආදායම ප්‍රමාණවත් නැහැ. අපනයන ආර්ථිකයට ගියාම තමයි අපනයන ආර්ථියක් හැදෙන්නේ. එසේ නොමැති නම් තවත් අවුරුදු 15කින් ආර්ජන්ටිනාව වගේ මේ ආකාරයටම ගොඩ එන්න බැරි විදියට, මීට වඩා දරුණු ආකාරයට කඩා වැටෙනවා. මේ අවස්ථාවේ නිවැරදිව ක්‍රියා කළොත් ඒ තත්ත්වය නොවී ඉදිරියට යන්න අපට පුළුවන්.
අනෙක් පක්ෂ කියනවා බදු අඩු කරනවා කියලා. මමත් කැමතියි බදු අඩු කරනවා කියලා කියන්න. නමුත් අපේ ආදායම් මදි නම් කොහොමද කොහොමද බදු අඩු කරන්නේ? අයි. එම්. එෆ් සංවිධානය කියන්නේ අපේ ආර්ථිකයට තවත් අපේ ණය බර උසුලන්න බැහැ කියලයි.
ණය ගැනීම නිසා ආර්ථිකය කඩා වැටෙන්න යනවා.ඒ නිසා ණය ගන්න එපා කිව්වා. නමුත් අපට තව ටික කලක් ණය ගැනීමට සිදු වෙනවා.
අය වැය පරතරය වහන්න ණය ගන්නවා නම් දළ දේශීය නිෂ්පාදනයෙන් 5%කට වඩා ගන්නේ නැහැ කියලා අපි එකඟ වුණා. අපේ අය වැය සකස් කළ යුතු වන්නේ ඒ අනුවයි. ප්‍රාථමික අයවැයේ අතිරික්තයක් තිබිය යුතුයි. එසේ නොකළ හොත් අපට ප්‍රශ්නවලට මුහුණ දීමට සිදු වෙනවා. ඒ වගේම බැංකුවලින් ණය ගන්න බැහැ. මුදල් අච්චු ගහන්න බැහැ.
රුපියල ශක්තිමත් කිරීමට මේ මාර්ගයේ යා යුතු වෙනවා. අනෙක් අය කියනවා වගේ බදු අඩු කර වියදම් වැඩි කරන්න බැහැ.
2025 අයවැයට අපිට ලබා දී ඇති සීමා අනුවයි අපි ක්‍රියා කරන්නේ. ඒ අනුව 2025ට සම්පූර්ණ වියදම රුපියල් බිලියන 6898ක් වෙනවා. නමුත් අපේ ආදායම රුපියල් බිලියන 5100යි. මේ පරතරයට මොකක්ද කරන්නේ? රුපියල් බිලියන 1700ක පරතරයක් තිබෙනවා. එතන 5% (5.2%) අල්ලනවා. අප සතු ප්‍රාථමික ශේෂයේ අතිරික්තය වන්නේ රුපියල් බිලියන 781යි. එවිට රුපියල ස්ථාවර වෙනවා.
මාලිමාවේ යෝජනා සමඟ ඒ අයවැය හැදුවොත් කොහොමද කියලා බලමු. ඒ අනුව අපේ වියදම ඩොලර් රුපියල් 8900 කට වැඩි වෙනවා. ඒ කියන්නේ රුපියල් බිලියන 2000කින් වැඩි වෙනවා. නමුත් ඔවුන් බදු අඩු කරන නිසා ආදායම රුපියල් බිලියන 4900 යි. අපට වඩා රුපියල් බිලියන 2000ක් අඩුයි.
ඒ අනුව අයවැය පරතරය රුපියල් බිලියන 4000යි. එය දළ දේශීය නිෂ්පාදනයෙන් 11.9% යි. මේක තමයි වෙනස. අපි ප්‍රාථමික ගිණුම් ශේෂය 2.3%ක තබාගන්න. නමුත් මෙතන සෘණ 4.3%ක් වෙනවා. මෙහෙම පොරොන්දු දීලා ආපහු අපි රට වට්ටන්න යන්නේ. මුදල් නැතුව මාර්කට් එකට ගියොත්, මාර්කට් එකෙන් මුදල් ගත්තොත් එවිට පොලිය 25%ක් වෙයි.
මේ අනුව ගිය හොත් අයි.එම්. එෆ් මීළඟ වාරිකය අපට ලැබෙන්නේ නැහැ. එවිට අපේ ආර්ථිකය නැවත කඩා වැටෙනවා. එවිට ඩොලරය රුපියල් 400ක් පමණ වෙයි. අයි. එම්.එෆ් මුදල් දෙන්නේ නෑ කිව්වම ඩොලරය රුපියල් 500ක් බවට පත් වෙයි. අපි මේ දේශපානය කළ යුතුද?
මම මෙහෙම කරන්නේ නෑ කියලා මට බණිනවා. මම මේ විදියට කළොත් ඔබේ අනාගතය මම පාවලා දුන්නා වෙනවා. මෙය අමාරුයි. නමුත් අපි මෙතැන් සිට ඉදිරියට යමු. වසරක් දෙකක් යන විට මේ තත්ත්වය වෙනස් වෙනවා. ‘පුළුවන් ශ්‍රී ලංකා’ හි තිබෙන්නේ වැඩ සටහනක්. එය සැලැස්මක්. සැප්තැම්බර් 22 වනදාම එය ක්‍රියාත්මක කරන්න පුළුවන්.
අනෙක් ඒවා කරන්න පුළුවන්ද? එකක් කියනවා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියලා. ඒක හරි. මම ජනාධිපති වුණාම රට පොහොසත් වෙනවා. ජීවිතය ලස්සන වෙනවා.
ප්රශ්නය
ඔබතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඩිජිටල්කරණය පිළිබඳ කොටස් මෙරට ඩිජිටල් ආර්ථිකය ඇමරිකානු ඩොලර් බිලියන 5 සිට ඩොලර් බිලියන 15 දක්වා ව්‍යාප්ත කරන බව. එය කිරීමට සැලසුම් කරන්නේ කොහොමද?
පිළිතුර
අපට එය සාක්ෂාත් කරගත හැකි බව මට විශ්වාසයි. රාජ්‍ය අංශය ඩිජිටල්කරණයේ දී තවත් අත්දැකීම් ලබා ගැනීමට හැකිවෙනවා. සංඛ්‍යාත්මක වශයෙන් ගත්විට, එය මූලික වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 15 දක්වා ගෙන යාමට අප බලාපොරොත්තු වෙනවා. ඒ ආශ්රිත ව්‍යවසායකයින් ප්‍රවර්ධනය කිරීමටද අප කටයුතු කරනවා. ඒ වගේම මේ ආශ්රිත විදෙස් ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීම ඇතුලු අවශ්‍ය සියලුම ආකාරයට අප සහාය ලබා දෙනවා. ඉතිරිය එම කර්මාන්ත විසින් සිදු කළ යුතුයි.
ප්රශ්නය
මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී කාන්තා නියෝජනය සඳහා වැඩි අවස්ථාවක් ලබා දෙනවාද?
පිළිතුර
ඒ සඳහා පක්ෂවලින් වැඩි පුර කාන්තාවන් ඉදිරිපත් වන ලෙස ඉල්ලා සිටිනවා. මේ වන විට අප කාන්තා සවිබල ගැන්වීමේ පනත සම්මත කර තිබෙනවා. නමුත් කොමිසම තවම පත් කර නැහැ. එය පත් කරන්නේ ව්‍යවස්ථාදායක සභාවෙන්. පක්ෂවලින් වැඩිපුර කාන්තා නියෝජනය ලබා දෙන ලෙස කාන්තා කටයුතු අමාත්‍යාංශයෙන් අප ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වෙනවා.
මූලික වැඩසටහන වශයෙන් ජනසභා සහ ප්‍රාදේශීය සහ පළාත් සභාවල කාන්තා නියෝජනයට සංඛ්‍යාවක් ලබා දීමට අප කටයුතු කරනවා. පාර්ලිමේන්තුවට නව මැතිවරණ ක්‍රමයක් එන විට ඊට කාන්තා නියෝජනය කොපමණද කියන එක සම්බන්ධයෙන් තවමත් වාද විවාද පැවැත්වෙනවා.
නමුත් මිශ්‍ර ක්‍රමයකට ගිය හොත් අනුපාතය අනුව පත් කරනු ලබන මන්ත්‍රීවරු අතර කොටසක් කාන්තාවන්ගෙන් නම් කිරීමට හැකියාව ලැබෙයි. ඒ වගේම පක්ෂවලට කියන්න පුළුවන් තමන්ගේ අපේක්ෂකයන්ගෙන් සියයට 10-15ක් හෝ 20 ක් කාන්තාවන් විය යුතු බව.
ප්රශ්නය
ඔබතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තරුණ ප්‍රජාවට රැකියා 100,000ක් ලබාදෙන බව සඳහන් වෙනවා. ඒ වගේම කලා විෂය ධාරාව හදාරා රැකියා විරහිත උපාධිධාරීන් විශාල ප්‍රමාණයක් සිටිනවා. එම පිරිසට ඔබතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ විසඳුමක් ලබාදී තිබෙනවාද?
පිළිතුර
අපි කෘෂිකර්ම නවීකරණය, කර්මාන්ත ශාලා, ඇති කිරීමට හා ඒ වගේම සංචාරක කර්මාන්තය නැංවීමට පියවර ගන්නේ රැකියා ලබා දීම සඳහායි. ආයෝජකයින්ට ආයෝජන කටයුතු සිදු කිරීමට සඳහා අප අවස්ථාව සලසා දී තිබෙනවා. ඒ වගේම පවතින ව්‍යාපාර ද දියුණු වීම සඳහා අවස්ථාව සලසා දිය යුතුයි.
වසර 4ක් තුළ තරුණ ප්‍රජාවට රැකියා ලැබුනේ නැහැ. ඒ වගේම අලුත් ආයෝජන ඇතිවන තුරු මේ සඳහා යම් කිසි සහනයක් ලබාදිය යුතුයි. ඒනිසා රජයේ රැකියා, පෞද්ගලික අංශයේ රැකියා සහ ස්වංරැකියා අවස්ථා ඇති කිරීමට අප බලාපොරොත්තු වෙනවා. පුද්ගලික අංශයේ රැකියා සඳහා වසරක වැටුප් අප විසින් ගෙවනු ලබනවා. ස්වයං රැකියා සඳහා පහසු ක්‍රමයට ණය ලබාදීමත්, අවුරුද්දක් පමණ කාලයක් සඳහා අවහ්‍ය දීමනා ලබාදීමත් සිදු කල යුතු වෙනවා.
දැනට කලා විෂය ධාරාව යටතේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන සිසුන්ට ඉංග්‍රීසි භාෂාව සහ තොරතුරු තාක්ෂණය විෂය ඇතුළු රැකියාවකට යාමට අවශ්‍ය සුදුසුකම් ලබාදීමට අප කටයුතු කරනවා. එවිට
විරැකියාවෙන් පෙළන කලා උපාධිධාරීන් ප්‍රමාණය අඩු වෙනවා. එනිසා මෙම රැකියා 100,000 වැඩසටහන අප හඳුන්වා දී තිබෙන්නේ විරැකියාව අඩු කිරීමටයි
තරුණ අපිට තාක්ෂණය සමඟ කෘෂිකර්මාන්තයට එක් වීමට වැඩපිළිවෙලක් ඔබතුමාගේ වැඩසටහන තුළ තිබෙනවාද?
පිළිතුර
ඔව්. කෘෂිකර්ම නවීකරණ වැඩසටහන යටතේ දැනට තිබෙන ගොවිජන සේවා මධ්‍යස්ථාන කෘෂි නවීකරණ මධ්‍යස්ථාන බවට පත්කරනවා. රජය සහ පෞද්ගලික අංශය සමඟ එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. වගාකරණ බෝග අලෙවි කිරීම සඳහා පෞද්ගලික සමාගම් සම්බන්ධ කරගත යුතුයි. ඒ වගේම ශීතාගාර පහසුකම් දඅවශ්ය වෙනවා.
මේ සියල්ලම පුද්ගලික සමාගම් සමඟත් සාකච්ඡා කර ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. වී ගොවිතැන සැලකූ විට හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 8ක අස්වැන්නකට ගමන් කළ යුතු වෙනවා. එම ඉලක්කයට ළඟාවන විට අපට රටෙට අවශ්‍ය මුළු සහල් ප්‍රමාණය වියළි කලාපයෙන් ලබාගත හැකිවෙනවා. තෙත් කලාපය වෙනත් භෝග වගාවට යොදාගත හැකියි.
ප්රශ්නය
දැන් ආර්ථිකය ස්ථාවර වුවත්, ජීවන වියදම සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළයි. ඒ තත්ත්වය පාලනය කරන්නේ කොහොමද?
පිළිතුර
ආර්ථිකය සැලකූ විට රුපියලට සාපේක්ෂව ඩොලරය රුපියල් 185 සිට 370 දක්වා ඉහළ ගියා. ඩොලරයක වටිනාකම රුපියල් 400 දක්වා ඉහළ යාමේ අවදානමක් එදා අපට තිබුනා. ඒ නිසා මම රුපියල ස්ථාවර කිරීම සඳහා ක්ෂණිකව ක්‍රියාමාර්ග ගත්තා. එහි ප්‍රතිඵලයලක් ලෙස ඩොලරයක වටිනාකම රුපියල් 300ට ස්ථාවර වී තිබෙනවා. නමුත් අපේ වැටුප තවමත් ඩොලරයට රුපියල් 185 මත පදනම් වෙලා තිබෙනවා.
ඉතින් අපි ආදායම වැඩි කරනවා වගේම රුපියල ශක්තිමත් කිරීමෙන් භාණ්ඩ මිල අඩු කිරීමටද අප බලාපොරොත්තු වෙනවා.