ආසියාවේ විශාලම ස්වභාවික වරාය වන ත්‍රිකුණාමල වරාය හිස්ව තබා ගැනීමේ ජාතික අපරාධය නිවැරදි කරමින් ඉන්දීය රජයේ සහාය ඇතිව එය කඩිනමින් සංවර්ධනය කර ජාතික ආර්ථිකයට එක් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (31) ත්‍රිකුණාමලයේ උවරමලේක්රීඩාංගණයේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය අමතමින්.
එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබු මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියා.
සමඟි ජනබලවේගය පක්ෂයේ සේරුවාවිල ආසනයේ සංවිධායක නලින් ගුණවර්ධන සහ ත්‍රිකුණාමලය කඩවත්හතර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හිටපු නාගරික මන්ත්‍රී ටී. බහර්දීන් යන මහත්වරුන් ද ජනාධිපතිවරයාට සහාය පළ කිරීමට එක්වීමද විශේෂත්වයක් වුණා.
ජන රැලිය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ නිලාවේලි සිට ත්‍රිකුණාමලය දක්වාත් වෙරුගල්ආරු සිට ආරුගම්බේ දක්වාත් සංචාරක කලාප ඇති කර සංචාරකයන් විශාල පිරිසක් ත්‍රිකුණාමලයට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ සකස් කරන බවයි.
ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කර තිබෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා ධීවර කර්මාන්තය දියුණු කිරීම වෙනුවෙන් සහනාධාර ලබා දෙන බවත්, සිවිල් ආරක්ෂක භටයන්ගේ ගැටළුවද කඩිනමින් නිරාකරණය කරන බව සඳහන් කළා.
සේරුවාවිල විහාරය සංවර්ධනය කිරීමට සහාය ලබා දෙන බව මෙහිදී පැවසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දක්ෂිණකෛලාශ් ලෙස ලෝකය පුරා හින්දු බැතුමන්ගේ ගෞරවයට පාත්‍ර වූ කෝණේෂ්වරම් කෝවිලට අඩු පාඩුවක්ව පවතින ගෝපුරම් ඉදි කිරීමේ වගකීම නව රජය යටතේ සිදු කිරීමේ වගකීම භාරගන්නා බව ද සඳහන් කළා.