තම බිරිඳට පොරොවකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වූ ශ්‍රී ලාංකිකයෙක් වන දිනුෂ් කුරේරා මිනීමැරුම් චෝදනාවට වරදකරු වී තිබෙනවා.
ඔහුගේ බිරිඳ වූ නෙලෝමි පෙරේරාගේ මරණය සම්බන්ධයෙන් මාසයක පමණ කාලයක් නඩු විභාගය පැවති අතර ඔහු අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණේ ආත්මාරක්ෂාව සඳහා තම බිරිඳට පහර දුන් බවටයි.
මෙම සිද්ධියට අදාළව 47 හැවිරිදි දිනුෂ් කුරේරා මිනීමැරුම් චෝදනාවට වරදකරු කිරීමට වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණ ජූරි සභාව පැය තුනක පමණ කාලයක් සාකච්ඡා කර තිබූ බව සඳහන්.
දිනුෂ් කුරේරා 2022 වසරේ දෙසැම්බර් 3 වනදා තම බිරිඳ ඝාතනය කළ බව පිළිගෙන තිබුණා.
කෙසේ වෙතත් ආත්මාරක්ෂාව සඳහා ක්‍රියාමාර්ගයක් ගත් බැවින් ඔහු මිනීමැරුම් චෝදනාවට වරද පිළිගෙන තිබුණේ නැහැ.
ඔහු නඩු විභාගය අතරතුර ජූරි සභාවට පැවසුවේ මෙල්බන් නිවසේ ආරවුලක් අතරතුර බිරිඳ පිහියක් පෙන්වා තමාට තර්ජනය කර ඇඟිල්ල සපා කෑ බවයි.
43 හැවිරිදි මෙම ශ්‍රී ලාංකික කාන්තාව තුවාල 35 ක් සහිතව මියගොස් සිටි බව නීතිඥයින් ජූරි සභාවට දැනුම්දී තිබුණා.
එමෙන්ම මෙම ගැටුම අතරතුර 17 හැවිරිදි තම පුත්‍රයාට නිවසින් පලා යාමට උත්සාහ කිරීමේදී පහර දීම ද සැකකරු ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මෙම යුවළගේ දරුවන් දෙදෙනාගෙන් ද සති හතරක පමණ කාලයක් සාක්ෂි විමසීමෙන් අනතුරුව අද වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණ ජූරි සභාව මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්.
දිනුෂ් කුරේරා නැවත රක්ෂිත භාරයට පත් කර ඇති අතර ඉදිරි දිනකදී දඩුවම් නියම කරනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.