මෙවර යල කන්නයේ ලොකු ලූනු වගා කර ඇති ගොවීන්ට නිසි මිලක් නොලැබී ඇති බව ජනමාධ්‍ය තුළ ප්‍රකාශ වුවත් ලොකු ලූනු වගා කළ ගොවීන් වෙතින් මෙතෙක් ඒ සම්බන්ධව කිසිදු පැමිණිල්ලක් හෝ ඉල්ලීමක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය වෙත ලැබී නොමැති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
එම කරුණ සම්බන්ධව පැමිණිල්ලක් ඉදිරිපත් වුවහොත් රජය මැදිහත් වී සතොස මඟින් එම ගොවීන්ගේ ලොකු ලූනු අස්වැන්න මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.
සාමාන්‍යයෙන් මෙරට වාර්ෂික ලොකු ලූනු අවශ්‍යතාවය මෙට්‍රික්ටොන් ලක්ෂ 03ක්.
මෙම යල කන්නයේ වගා කර ඇති බිම් ප්‍රමාණය හෙක්ටයාර 1200ක් පමණ වෙනවා.
ඉන් අපේක්ෂිත අස්වනු ප්‍රමාණය මෙට්‍රික්ටොන් 24,000කි. එම අස්වනු ප්‍රමාණය තුළින් මෙරට සමස්ත අවශ්‍යතාවය සම්පූර්ණ වන්නේ නැත.
පරිභෝජනය සඳහා ඉතිරි ලොකු ලූනු ප්‍රමාණය මුළුමනින්ම ආනයනය කිරීමට සිදු වී තිබෙනවා.
විශේෂයෙන් සෑම වසරකම ලොකු ලූනු අස්වැන්න නෙලන අවස්ථාව වන විට වර්ෂාව නිසා එම වගාවන් විනාශ වී යන තත්ත්වයක් ද පසුගිය කාලය පුරාම දක්නට ලැබුණා.
මෙවර ද හෙක්ටයාර 4000ක වගා කිරීමට සැලසුම් කළත්, වර්ෂාව නිසා එම ප්‍රමාණය හෙක්ටයාර 1200කට සීමා කිරීමට සිදු වූ බව ලොකු ලූනු පිළිබඳ බෝග නායක ඩී.ආර්. කාංචන මහතා පැවසුවා.
ලොකු ලූනු ගොවීන්ට යම් අසාධාරණයක් සිදු වී ඇත් ද යන්න පිළිබඳව කළ විමසීමක දී ඒ මහතා කියා සිටියේ දැනට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය මඟින් ලොකු ලූනු කිලෝග්‍රෑම් 01ක් රුපියල් 225-250 අතර මිලකට මිල දී ගන්නා බවයි.
ලොකු ලූනු රුපියල් 150 දක්වා අඩු වී ඇතැයි ගොවීන් පළ කර ඇති ප්‍රකාශ මුළුමනින්ම අසත්‍ය බව ද ලොකු ලූනු පිළිබඳ බෝග නායක ඩී.ආර්. කාංචන මහතා පැවසුවා.
එම නිසා මෙම ගොවීන්ගේ ලොකු ලූනු අස්වැන්නට නිසි මිලක් නොලැබෙන්නේ නම් ඒ සඳහා රජය මැදිහත් වී කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.