පසුගිය ජූලි 8 සහ 9 යන දෙදින තුළ පැවැත්වු වර්ජනවලට සහභාගී නොවී සේවයට වාර්තා කළ රාජ්‍ය නිලධාරීන්ට එක් වරක් පමණක් ගෙවීමට සැලසුම්කර තිබු දීමනාවට සහ ප්‍රශංසා සහතිකයට මැතිවරණ කොමිසම හරස් වී තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ / රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු ලේකම්වරයාට ලිපියක් යොමුකරමින් ප්‍රකාශ කර ඇත්තේ මේ මොහොතේ අදාළ දීමනාව ලබාදීම සහ සහතික පත් නිකුත් කිරීම ඡන්ද විමසිමෙන් පසුව සිදුකරන ලෙසයි.
ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා ඡන්ද විමසීම ප්‍රකාශයට පත්කර ඇති මෙම කාලසීමාවේ දී මෙවැනි අමතර ඇගයීම් දීමනා ලබාදීම දේශපාලන පක්ෂ අපේක්ෂක ප්රවර්ධනයක් සිදුවන බැවින් ඡන්ද විමසීමෙන් පසුව අදාළ කාර්ය ඉටුකරන ලෙසයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇත්තේ.