“පුළුවන් ශ්‍රී ලංකා” මැතිවරණ ව්‍යාපාරය රට බෙදන තැනක් නොව, රට රැකීමට තුන් සිංහලය එකට එක්වන තැනක් බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම අපේක්ෂාව වනුයේ සියලුදෙනා එක් කර ගනිමින් රටේ ජනතාවට යහපත් අනාගතයක් ගොඩනඟාදීම බව පවසනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ දී අද (17) පස්වරුවේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී මංගල ජන රැළිය අමතමින්.
එළැඹෙන ජනාධිපතිවරණයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමෙ වෙනුවෙන් දිවයින පුරා සංවිධානය කෙරෙන ජන රැළි මාලාවේ සමාරම්භය මෙලෙස අනුරාධපුරයෙන් සනිටුහන් කෙරුණා.
පක්ෂ, පාට බේදයෙන් තොරව රජරට විශාල ජනතාවක් සල්ගාදු ක්‍රීඩාංගණයට රැස්ව සිටි අතර ඔවුන් ඉතා උණුසුම් ලෙස ජනාධිපතිවරයාව පිළිගනු ලැබුවා.
ජන රැළිය ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ රටේ ආර්ථිකය ගොඩනැඟුවේ සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක, හර්ෂ ද සිල්වා හෝ සුනිල් හඳුන්නෙත්ති නොවන බවයි.
තම ආණ්ඩුව අවශ්‍ය තරම් පොහොර ලබා දුන් විට 2022, 2023 සාර්ථක අස්වැන්නක ලබා දුන් ගොවි ජනතාව මෙරට ආර්ථිකය ඉදිරියට ගෙන ආ බවද ජනාධිපතිවරයා සිහිපත් කළා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ අනුර දිසානායක අද වේදිකාවල ජනතාවගේ ජීවන් බර ගැන කථා කිරීම විහිළුවට කරුණක් බවත්, ඔවුන් සැබෑ ලෙසම ජනතාවගේ දුක දන්නවා නම් එදා ආණ්ඩු බලය ගෙන ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් ලබාදිය යුතුව තිබු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා.
එදා ගෑස් සිලින්ඩරය 6800ට යන විට සජිත් ප්‍රේමදාස සහ අනුර දිසානායක සිටියේ කොහේදැයි ප්‍රශ්න කළ ජනාධිපතිවරයා එම ප්‍රශ්නයට ඔවුන් පිළිතුරු ලබාදි යුතු බවත් එසේ නැති නම් මෙම වේදිකාවට පැමිණ අසුන්න ගන්නා ලෙස ඔවුන්ට පවසන බවත් කියා සිටියා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසුවා,
අද ඔබ සියලුදෙනා මෙම ස්ථානයට රැස්ව සිටින්නේ පක්ෂ ගැටෙන ඡන්ද ව්‍යාපාරයක් වෙනුවෙන් නොවෙයි. අද අප එක්ව සිටින්නේ සියලුදෙනා එක්වන මේ රටේ ජනතාවගේ අනාගතය තහවුරු කරන ව්‍යාපාරයක් වෙනුවෙන් බව කිවයුතුයි.
අද මල්වැස්සක් වැස්සේ ඒ නිසයි. මෙතන බෙදෙන තැනක් නොවෙයි, මේ රට රැකීමට තුන් සිංහලය එකට එක්වන තැනයි.
පක්ෂ බේදයෙන් තොරව ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ගැස් සිලින්ඩරය ලකුණින් මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ඒ නිසයි. අද මෙතන සිටින්නේ අනිත් නායකයන් බැහැ කියලා පැනලා යද්දි, පුළුවන් කියා රට බේරාගත් පිරිසයි.
අද විවිධ පක්ෂවලට අයත් පිරිස මෙම ස්ථානයට රැස්ව සිටිනවා. එසේනම් මගේ ඡන්ද ව්‍යාපාරය වන්නේ මේ රටේ සියලුදෙනා එක් කර ගනිමින් ඉදිරියට ගොස් රටේ ජනතාවට යහපත් අනාගතයක් ගොඩනඟා දීමයි.
මෙය මගේ අනාගතයවත්, මෙහි සිටින මැති ඇමතිවරුන්ගේ අනාගතය වෙනුවෙන්වත් ගෙන යන ව්‍යාපාරයක් නොවෙයි. මේ රටේ ජනතාව වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළක් බව කිවයුතුයි.
එදා විදුලිය තිබුණේ නැහැ, සියලුදෙනා අඳුරේ ජීවත් වුණා. ඉන්ධන තිබුණේ නැහැ, පයින් ගියා. ගෑස් තිබුණේ නැහැ, සිලින්ඩර් විතරයි තිබුණේ. ඒවත් පිපිරුවා. ඖෂධ තිබුණේ නැහැ, ජනතාව මහ පාරේ මිය ගියා. හෝටල් වැහුණා. කර්මාන්ත ශාලා කඩා වැටුණා. එවන් අවස්ථාවක මමත්, අගමැතිතුමා ඇතුළු මේ කණ්ඩායම රට භාරගත්තා.
ඒ වෙනුවෙන් වෙන කිසිවෙක් ඉදිරිපත් වුණේ නැහැ. හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහත්තයා ඉල්ලා අස්වුණා. හිටපු ජනාධිපතිතුමා ද ඉල්ලා අස් වුණා.
විපක්ෂනායකතුමා පැනලා දිව්වා. අනුර දිසානායක මහත්තයා සොයා ගන්නවත් හිටියේ නැහැ.
ඒ කාලයේ ඩොලරයක අගය රුපියල් 377යි. ලිට්රෝ ගෑස් සිලින්ඩරට රුපියල් 4901යි, ලාෆ් ගෑස් සිලින්ඩරය රුපියල් 6850, පෙට්‍රල් 92 ලීටරය රුපියල් 470යි, ඔටෝ ඩීසල් ලීටරය රුපියල් 460යි, භූමිතලේ ලීටරය රුපියල් 375යි, බස් ගාස්තු අවම ගාස්තුව රුපියල් 40යි, විදුලි බලය පළමු ඒකක 30ට රුපියල් 8යි, ඒකක 60 වෙනකන් 20යි, ඉන්පසුව 30යි, මේ හමුවේ මේ රටේ ජනතාව විශාල ලෙස දුක් වින්දා.
මේ කාලයේ සජිත් ප්‍රේමදාස කොහෙද හිටියේ, අනුර දිසානායක කොහොද හිටියේ, ජනතාව විඳින දුක දන්නවා නම් එදා ආණ්ඩු බලය අරගෙන ඒ ප්‍රශ්නවලට විසදුම් ලබාදීමට තිබුණා. විපක්ෂනායකයා යුතුකම් දන්නවා නම් පැවති ආණ්ඩුව ඉල්ලා අස් වූ විට ආණ්ඩුව භාරගත යුතුයි.
ඒ වගේම පළමු විපක්ෂය එය භාරගත්තේ නැත්නම් දෙවන විපක්ෂය එය භාරගත යුතුයි. ඒත් ඔවුන් කොහොද හිටියේ. අද ඔවුන් ජනතාවගේ ජීවන බර ගැන කථා කරනවා.
ගෑස් සිලින්ඩරය 6800 යන විට සජිත් කොහෙද හිටියේ, අනුර කොහොද හිටියේ කියා මම අහන්න කැමතියි. ඇයි එදා ඒ වෙනුවෙන් ක්‍රියාකළේ නැත්තේ කියා මම අහනවා. මේ වේදිකාවෙන් පටන්ගෙන අපි හැම වේදිකාවේදීම සජිත්ගෙන්, අනුරගෙන් එම ප්රශ්නය අහනවා. ඔවුන් පිළිතුරු ලබා දිය යුතුයි.
පිළිතුර ලබා දෙන්න බැරිනම් ඔබ මැතිවරණයට ඉදිරිපත් වෙන්න එපා. ඔබ දෙදෙනාත් පැමිණ මේ වෙදිකාවේ දෙපස අසුන් ගන්න කියලා මම කියනවා.
දැන් ලිට්රෝ ගෑස් සිලින්ඩරය රුපියල් 3690යි, රුපියල් 1220 කින් අඩුවී තිබෙනවා. ලාෆ් ගෑස් සිලින්ඩරය රුපියල් 3680යි, රුපියල් 2170කින් අඩු වෙලා තිබෙනවා. ඉතින් මගේ මැතිවරණ ලකුණ ලෙස ගෑස් සිලින්ඩරය ලබා ගැනීම පුදුමයට කරුණක් නොවෙයි. ඊට වඩා සුදුසු වෙනත් එක්ක නැහැ කියා මම ප්‍රකාශ කළයුතුයි. අපි පෙට්‍රල් ලීටරය රුපියල් 344ට අඩු කළා.
ඔටෝ ඩීසල් රුපියල් 317ට අඩු කළා. භුමිතෙල් රුපියල් 202 ට අඩු කළා. අවම බස් ගාස්තුව රුපියල් රුපියල් 28ක් කළා. විදුලි බලය පළමු ඒකක 30 රුපියල් 06යි. ඒකක 60 වන තෙක් රුපියල් 09යි. ඊට පස්සේ රුපියල් 18යි.
මේ පිළිබඳ මම සෑහීමකට පත් වෙන්නේ නැහැ. එදා රුපියල් 377ක් වූ ඩොලරය අද 303යි. මෙය ආරම්භය පමණයි. තව දුර යාමට තිබෙනවා. පොහොර මිටිය රුපියල් 40,000කට ගත්තා කියා ඔබ මතක් කළා. එය වැරදියි. එදා මේ රටේ පොහොර තිබුණේ නැහැ. මේ ආර්ථිකය හැදුවේ සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක, හර්ෂ ද සිල්වා හෝ සුනිල් හදුන්නෙත්ති නොවෙයි.
අපි පසුගි 2022, 2023 මේ රටේ ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ලබා දුන්නා. ඒ වගේම ජනතාවට අස්වැසුම ලබා දුන්නා. මල්වතු ඔය ජලාශය වැඩ අප ඉදිරියේ දී ඔබ වෙනුවෙන් නියත වශයෙන්ම අවසන් කරන බව කිවයුතුයි. මේ රටේ ජනතාව විඳි දුක අපි දන්නවා. රට මේ තත්ත්වයට ගෙන ඒමට වැට් බදු වැඩි කිරීමට සිදුවුණා. අපි එය කැමැත්තෙන් කළේ නැහැ.
අකමැත්තෙන් වුවත් එම තීරණ ගැනීමට සිදු වුණා. එයින් රටේ ආර්ථිකයට සහනයක් ලැබෙන බව අප දැන සිටියා. අපි දුක් විදි රජයේ සේවකයන්ව අමතක කෙළේ නැහැ. 2024 ජනවාරි මාසයේ අපි රජයේ සේවකයන් වෙනුවෙන් රුපියල් 5,000ක් ලබා දුන්නා.
අප්‍රෙල් මාසයේ 10,000ක් ලබා දුන්නා. 2025 පාදක වසර බවට පත්කරගෙන ජීවන වියදම් දීමනාව රුපියල් 25,000 ක් බවට පත් කර රාජ්‍ය සේවයේ ආරම්භක වැටුප 24%කින් ඉහළ නංවා ජීවන වියදම් දීමනාව සමඟ රුපියල් 55,000ක වැටුප් තලයක් ඇති කරනවා.
වසර දෙකකින් අපි රුපියල් 25,000ක් ලබාදුන්නා. බංකොලොත් නොවු එක රජයක්වත් මෙවන් සහනය ලබා දුන්නේ නැහැ. මෙම සහන ලබාදීමට හැකිවුයේ අපි නිසි ලෙස මෙම ආර්ථිකය පාලනය කළ නිසයි. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් ලබාදෙන සහන අපි විශාල ලෙස ඉහළ නැංවුවා. එපමණක් නොවෙයි උරුමය වැඩසටහන ක්‍රියාත්මක කර ඔබ මෙතෙක් වගා කළ ඉඩම්වලට නීත්‍යානුකූල අයිතිය ලබා දී තිබෙනවා.
මැතිවරණ නිසා තාවකාලිකව මෙම වැඩසටහන් නතර කළත්, මැතිවණයෙන් පසු වෙනම අධිකාරියක් පත් කර ලක්ෂ 20ක් වෙනුවෙන් මෙම උරුමය ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන භාර දෙනවා. වසර දෙකකින් එම වැඩසටහන අවසන් කළයුතුයි. අවශ්‍යනම් ඒ වෙනුවෙන් නීති ගෙන ඒමට ද කටයුතු කරනවා.
අපි කිසිවෙක් අතහැර නැහැ. අයිතිය බෙදීමේ විප්ලවය අපි ආරම්භ කර තිබෙනවා. අපට මෙම සහන ලබාදීමට හැකිවුයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් වැඩසටහන සාර්ථක කරගත් නිසයි. ඒ වගේම ඔවුන්ගේ එකඟතා අනුව අප ඉදිරියට යනවනම් අපට තිබෙන ණය ගෙවීමේ දී ඩොලර් බිලියන 13ක සහනයක් හිමි වෙනවා.
නමුත් මෙය වෙනස් කළොත් මෙම සහන අහිමි වෙනවා. අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස කියනවා මෙය වෙනස් කරනවා කියලා. එවිට මේ රටේ ජනතාව නැවත ආර්ථික ගැටලු ඇති වෙනවා. ඉන්ධන නැති වෙනවා, ඖෂධ, ගෑස් නැති වෙනවා.
ඒ නිසා මම සජිත් සහ අනුරගෙන් අහනවා ඔබ මේ ප්රශ්නය විසඳන්නේ කොහොමද කියලා. එවන් තත්ත්වයක් ඇති වුවහොත් ඔවුන් නැවත පැන දුවනවා. රට බේරාගත හැකි එකම කණ්ඩායම අද මා සමඟ මෙම වේදිකාවේ සිටිනවා. මම පක්ෂයක් නැතිව මෙතනට ආවේ ඔබේ අනාගතය වෙනුවෙන්. අපි රට දියුණු කළයුතුයි. ඒ සඳහා වූ සැලැස්ම අප ළඟ තිබෙනවා.
ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ පාලන සමයේ සංස්කෘතික ත්‍රිකෝණය ඇති කර දඹුල්ල සහ සීගිරිය දියුණු කළා. පසුගිය මාසයේ යුනෙස්කෝ අධ්යක්ෂ ජනරාල්වරිය මෙරටට පැමිණ අවස්ථාවේ මම එතුමියගෙන් ඉල්ලා සිටියා ඒ අයුරින් අනුරාධපුරය නිර්මණය කර දෙන්න කියලා.
ඒ වගේම අනුරාධපුරය බෞද්ධ මධ්‍යස්ථානයක් බවට පත් කර මහා විහාර විශ්වවිද්‍යාලය නැවත ඇතිකිරීමට අප කටයුතු කරන බවද ප්‍රකාශ කළයුතුයි.
අපි දියුණු වෙමු. නැවත පෙරදිග ධාන්‍යගාරය බවට මේ රට පත් කර ඉදිරියට යමු කියා මා සියලුදෙනාට ආරාධනා කරනවා.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා,
එළැඹෙන සැප්තැම්බර් 22 වැනිදා නියත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යි. රටටත් ජනතාවටත් ඉතාම වැදගත් දේශපාලන සටනකට එක්වෙන අවස්ථාවක රජරට ජනතාව ජයග්‍රාහී ආරම්භයක් ලබාදීමට කටයුතු කර තිබෙනවා.
අපේ රටේ පැරණිතම නගරය වන අනුරාධපුර නගරය දේශපාලන සටන් බිමට හොද තෝතැන්නක් බව කිව යුතුයි. මා පසුගිය ජනාධිපතිවරණ දෙකකදීම මේ සල්ගාදු පිටියේ සිට කතා කර තිබෙනවා. ඒ අවස්ථා දෙකටම වඩා අද සල්ගාදු පිටියට මහ සෙනඟක් පැමිණ සිටිනවා .
ආණ්ඩුවක් ශක්තිමත්ව ගමන් කිරීමට නම් ආර්ථිකය ශක්තිමත් ව තිබිය යුතුයි ආර්ථික ශක්තිමත් කිරීමට හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා යි. ජනාධිපතිවරයා අවිහිංසාවාදීව ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කර ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කළා.
රට විශාල අර්බුදයක තිබෙන අවස්ථාවක රටේ වගකීම බාර ගැනීමට කිසිම නායකයෙක් ඉදිරිපත් වුණේ නැහැ. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වී ජනතාවට ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය කළා .
මෙය දේශපාලන සටනක් පමණක් නොවෙයි, මෙය රට දියුණු කරන සටනක්. ඒ නිසා මේ මැතිවරණ ව්‍යාපාරය ශක්තිමත් ව ඉදිරියට ගෙන යාමට කටයුතු කරමු. ජනාධිපතිතුමාගේ රජරට ජයග්‍රහණය ස්ථාවර කරමු.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා,
අද අප පැමිණ සිටින්නේ යුගයේ යුතුකම ඉටු කිරීමටයි. එසේ නොමැතිව පුද්ගලයෙක් ජනාධිපති කරවීමට නොවෙයි. අද අප එක්ව සිටින්නේ රට දිනවන වැඩපිළිවෙල සහිත පුද්ගලයෙකු ජයග්‍රහණය කරවීමටයි.
මේ යුගයේ කාර්ය භාරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැනවින් වටහා ගත්තා. ඒ නිසා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකමතික තීන්දුවක් ගත්තා. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී සිටිනවා. මේ අනුරාධපුර දිස්ත්‍රික්කය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තෝතැන්නක් බව කිව යුතුයි.
මේ රටේ යුග මෙහෙවරක් ඉටු කළ, තවදුරටත් ඒ මෙහෙවෙර වෙනුවෙන් කැපවී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජයග්‍රහණය කරවීම සඳහා අනිත් පාර්ශ්ව සමඟ පෙළ ගැසී වැඩ කටයුතු කරන ලෙස අනුරාධපුර දිස්ත්‍රික්කයේ කළගුණ දන්නා අපගේ පාක්ෂිකයන්ගෙන් මා ඉල්ලා සිටිනවා.
අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා,
මේ රට කඩා වැටුණ අවස්ථාවේ ක්රමාණුකූලව එය ගොඩ නැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළා. එතුමා ගේ වැඩ පිළිවෙළ නිසා අද මේ රට ස්ථාවරත්වයට පත්ව තිබෙන්නේ. ඉදිරියටත් අපේ රට නොවැටී ඉදිරියට යාමට නම් එතුමාගේ වැඩ පිළිවෙලද ඉදිරියට ගෙන යා යුතු බව අපේ විශ්වාසයයි.
ඒ සඳහා අපගේ උපරිම සහාය අප ලබා දෙනවා. ඒ අනුව ඉදිරියට අපේ රටට හොඳ කාලයක් උදා වනු නොඅනුමානයි.
අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය,
වසර 32ක් වූ මගේ දේශපාලන ජීවිතයේ ප්‍රථම වතාවට ස්වාධීන අපේක්ෂකයෙකු ජයග්‍රහණය කරවීම සඳහා මම පෙනී සිටිනවා. මා පමණක් නොවෙයි, මෙහි සිටින අප සියලුදෙනාගෙන් බහුතරයක් අද ප්‍රථම වරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී සිටිනවා.
අප කිසි දිනෙක ස්වාධීන අපේක්ෂකයෙකුට උපකාර කර නැහැ.
නමුත් අප අද පාට පක්ෂ භේද කිසිවක් නොසලකා ස්වාධීන අපෙක්ෂකයෙකු වුණු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ජයග්‍රහණය වෙනුවෙන් එක්ව සිටිනවා. මොළයෙන් සිතා වැඩ කරන සියලුදෙනාගේ තේරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමායි.
එදා හිටපු ජනාධිපතිවරයා රටින් පලා යනවිට විපක්ෂ නායකතුමාත් හැංගුණා. එදා විපක්ෂනායකයා හැංගුණේ අරගලයේදී ඔහුට පන්න පන්න ගහපු නිසා වෙන්න පුළුවන්. රටක් ලෙස අප අසරණ වූ වෙලාවේ රටේ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමණයි.
එම නිසා දුෂ්කරම මොහොතේ රටත් ජනතාවත් බේරා ගත් නායකයාට මේ රට තව දුරටත් ඉදිරියට ගෙන යාමට අවස්ථාව ලබා දිය යුතුයි.
අමාත්‍ය අලී සබ්රි මහතා,
2022 වසරේදී 69 ලක්ෂයක ජනවරමේ බලාපොරොත්තු ඉටු කිරීමට අපට හැකි වුණේ නෑ. කොවිඩ් වසංගතය හා යුක්රේන යුද්දය නිසා ආර්ථිකය කඩා වැටුණා. ඉන්ධන පෝළිම් , ආහාර පෝළිම් ඇති වුණා .එදා රට විතරක් නොවෙයි මුදල් අමාත්‍යාංශය භාර ගන්නත් කවුරුත් හිටියෙ නැහැ.
මට කෙටි කාලයකට මුදල් අමාත්‍යාංශය භාර ගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරන්න සිදු වුණා. එදා විපක්ෂයේ සිටිය ආර්ථික ඔස්තාර්ලා ආර්ථිකය බේරා ගැනීමට ඉදිරිපත් වුණේ නැහැ . යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කියලා කියමනක් තිබෙනවා.
ජනතාව පීඩාවට පත් වන වෙලාවෙ හරි ජනතා නායකයෙක් නම් හේතු කිය කිය ඉන්නෙ නැහැ. මේ වෙලාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වෙලා ජනතාව පීඩාවෙන් මුදවා ගැනීමට කටයුතු කළා. එම නිසා ඒ නායකයා ජයග්‍රහණය කිරීමට කැපවිය යුතුයි .
රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා,
එදා අප රජය භාරගන්නා විට විදුලිය, ගෑස්, ඉන්ධන මේ කිසිවක් තිබුණේ නැහැ. අපේ ගොවියන්ට පොහොර දීමට හැකියාවක් තිබුණේ නැහැ. ඖෂධ තිබුණේ නැහැ. ආහාර තිබුණේ නැහැ. එහෙම තිබුණ රටක් අද ජනාධිපතිතුමා මේ තත්ත්වයට ගෙනැවිත් තිබෙනවා.
එදා හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා කිව්වේ මොකක්ද? මේ අභියෝගය කිසිදා කිසිම කෙනෙකුට ජයගන්න බැරි අභියෝගයක් බව ප්‍රකාශ කළා. නමුත් තනි මන්ත්‍රී ධූරයකින් පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ අභියෝගය සාර්ථකව ජයග්‍රහණය කළා. එතැනම එතුමා මේ රට කරවීමේ හැකියාව පෙන්නුම් කර තිබෙනවා.
අභියෝග හමුවේ නැගී සිටින්නට ආත්ම ශක්තියක් නොතිබුණු නායකයින් එදා පැන දුවන විට ඔබ වෙනුවෙන් රටේ නායකත්වය භාරගත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමණයි. අභියෝග ජයගන්න ‘පුළුවන්’, ‘පුළුවන්’ කියන්න පුළුවන් කණ්ඩායම හිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමඟයි.
එම නිසා රටේ අනාගතය අද පැහැදිලියි, සුරක්ෂිතයි. ගොවියාගේ අනාගතය අද සුරක්ෂිතයි. මේ රටේ ජයග්‍රහණය විජයග්‍රහණය කිරීම සඳහා මුළු රටම පෙළගැසෙද්දී අපි අනුරාධපුර දිස්ත්‍රික්කය වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා දිනවන්නට මේ මහා ජන ගඟ සමඟ පෙළගැසී සිටිනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා,
මෙවර ජනාධිපතිවරණයට 39 දෙනෙකු ඉදිරිපත් වී සිටිනවා. අසීරු අවස්ථාවේ රට භාර නොගත් අය දැන් රට හදන්න බලය ඉල්ලනවා. ජනතාව දුක් විඳින වෙලාවේ කිසිවෙක් රටේ වගකීම භාරගත්තේ නැහැ. කිසිවෙකුත් භාරගන්න බැහැයි කියූ රට පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රීධූරයක හිටි මිනිසෙකු රට භාරගෙන විශ්වකර්ම වැඩක් සිදු කර තිබෙනවා.
වසර දෙකක් තුළ රට ගොඩ නැඟීමට ජනාධිපතිවරයා සිදු කළ කාර්යභාරය ලෝකයම පිළිගන්නවා.
නමුත් අපේ රටේ ඇතැමුන් අවලාද නඟනවා. මෙතෙක් කළ අත්හදාබැලීම් හොඳටම ඇති. තවදුරටත් අත්හදා බැලීම් කරන්න අවශ්‍ය නැහැ. අද උදා වී තිබෙන්නේ එළෙස අත්හදා බැලීම් කරන කාලයක් නොවෙයි.
අද ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් අතරින් කළ පුරුද්ද, පළපුරුද්ද ඇති එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතායි. එතුමාව ජනපති කිරීමට රටම අද පෙළ ගැසී සිටිනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින එකඟතා උල්ලංඝනය කළහොත් තවදුරටත් ශ්‍රී ලංකාවට උපකාර නොකරන බව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.
එහෙම වුනොත් නැවතත් මේ රට ගිනිගන්නවා. මේ කයිවාරු ගහන කිසිවෙකුට රට ඉදිරියට ගෙන යා නොහැකියි. එනිසා තමුන්නාන්සේලා විතරක් නෙවෙයි ඔබලාගේ දරු පරපුරටත් විනාශ වෙච්ච රටක් උරුම කිරීමට අවශ්‍ය නම් වෙනත් අපේක්ෂකයෙකුට ඡන්දය දෙන්න.
මේ ලබාගත් ජයග්‍රහණ ඉදිරියට ගෙන යාමට හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමණයි. සියල්ල පසෙකලා රටත් ජනතාවත් ගැන සිතා අප එළියට ආවේ එනිසායි. දැනට සජබෙන් එළියට ඇවිත් තියෙන්නේ අපි මන්ත්‍රීවරු 14 දෙනෙකු පමණයි.
නමුත් ඉදිරියට යන විට තව පෝලිමේ එනවා. එදාට මේ රටේ ඉතිරි වන්නේ එක් ජනාධිපති අපේක්ෂකයෙකු පමණයි. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. සැප්තැම්බර් 21වැනිදා රාත්‍රී 12 කනිසම විදනකොට මේ රටේ අනුරාධපුර දිස්ත්‍රික්කය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වැඩි ඡන්ද ලක්ෂ ගණනකින් ජයග්‍රහණය කරන බව නියතයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා,
අද අපට රජ රට සිට මුළු රටටම හොඳ පණිවිඩයක් ලබාදීමට හැකි වී තිබෙනවා. අපේ රටේ සිටින කයියනායකවරුන් දෙන්නා මුහුද හත් ගව්වක් තියා අමුඩ ගහගෙනයි හිටියේ. නමුත් අද සල්ගාදු පිටියට පැමිණි ජනතාව දෙස බැලූවිට රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය ස්ථිර බව ඉතාම පැහැදිලියි .
රනිල් වික්‍රමසිංහ මහතා අවශ්‍ය වෙලාවට රට භාර ගෙන නිවැරදි තීරණ ගෙන රට ගොඩ දැමීමට කටයුතු කළා . එතුමාගේ ඡන්ද සළකුණ වන්නේ ගෑස් සිලින්ඩරයයි. එම සළකුණ පවා ලැබී තිබෙන්නේ දෛවෝපගතව යි. එතුමා ඔබ වෙනුවෙන් සිදු කළ දේ එම සළකුණෙන් පවා පෙන්වා දෙනවා. එතුමා එක් මන්ත්‍රී ධූරයකින් ජනාධිපති ධූරය දක්වා පැමිණ රටේ ජනතාව පීඩාවෙන් මුදවා ගත්තා.
අප 2019 වසරේදී පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවීමට සඳහා කටයුතු කලා. නමුත් ජනතාවගේ බලාපොරොත්තු ඉටු කර ගැනීමට අපට හැකිවුණේ නැහැ.
නමුත් වත්මන් ජනාධිපතිවරයා ආර්ථික අර්බුදය තිබෙන අවස්ථාවේ ‘උරුමය’ , ‘අස්වැසුම’ වැනි වැඩසටහන් දියත් කරමින් ජනතාවට ශක්තියක් ලබා දුන්නා.
ඔබතුමා ජනතාවට කිසිම පොරොන්දුවක් දුන්නේ නෑ. ජනතාවගේ අවශ්‍යතාවය හඳුනාගෙන ඊට අදාල දේ ලබාදීමට ඔබතුමා කටයුතු කළා. ඒ නිසා කයිය ගහන අයට වඩා ඔබතුමා කළ සේවාව නිසා අනුරාධපුර දිස්ත්‍රික්කය වැඩිම මනාපයෙන් ඔබව දිනවනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා,
මීට වසර දෙකකට පෙර මේ රට තිබුණ තැන බලන්න. මුළු ලෝකයම මුහුණ දුන් කොවිඩ් උවදුර නිසා ජාත්‍යන්තර වෙළදාම බිඳ වැටුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට එන විට මේ රට තිබුණේ විසාලා මහනුවරක් මෙන් බව ඔබට මතක ඇතියි .
නමුත් එතුමාට වසර දෙකක කාලයක් තුළ ආර්ථිකය යථා තත්වයට පත් කිරීමට හැකි වුණා . අද ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 39දෙනකු ඉදිරිපත් වී තිබෙනවා. නමුත් මේ රට බංකොලොත් වූ අවස්ථාවේ කිසිම නායකයෙක් ඉදිපත් වුණේ නැහැ.
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇති අත්දැකීම් සහිත එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා,
සැප්තැම්බර් 22වැනිදාට ඉර පායන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත ජනාධිපති ධුරයට පත්වීමෙනුයි. මේ රටේ ජනතාව වෙනුවෙන් සියලු පක්ෂවල නායකයින් එක්ට එක් වී ජනාධිපතිතුමා සමඟ අත්වැල් බැඳගෙන අද මේ වේදිකාවේ සිටිනවා.
ජනතාවගේ පීඩාව හඳුනාගෙන අර්බුදය අවස්ථාවේදී ආර්ථිකය ගොඩ ගැනීම සඳහා ඉදිරිපත් වුණේ රනිල් වික්‍රමසිංහ මහතා පමණයි. එම නිසා එතුමාට කෘතවේදීත්වය පළ කරන්න ජනතාවට මෙවර ජනාධිපතිවරයේදී අවස්ථාව ලැබෙනවා. එය නිසි අයුරින් භාවිතා කර එතුමාගේ ජයග්‍රහණය විජයග්රහණයක් කිරීමට කටයුතු කරන ලෙස මා ඉල්ලා සිටිනවා.
හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා,
අද දේශපාලන ඉතිහාසයේ අද්විතීය දවසක්. ඊයේ (16) විපක්ෂ නායකතුමා පැවසුවා ඉදිරි වසර පහේදී ඉන්දියාවට වඩා ඉදිරියට ලංකාව ගෙන යනවා කියලා.
නමුත් මීට වසර දෙකකට පෙර ඉන්ධන, ගෑස් , පොහොර නැතිවෙනකොට, ආර්ථිකය කඩාවැටෙන කොට ඉදිරියට ආවෙ නැති සජිත් ප්‍රේමදාස අද ජනතාවට විහිලු සපයනවා. අද ඉන්න සුපර් මෑන්ලා, බැට් මෑන්ලා එදා ඉදිරි පත් වුණේ නෑ. මේ අර්බුදයෙන් රට ගොඩගන්න ඉදිරිපත් ජනාධිපති වුණේ රනිල් වික්‍රමසිංහ මහතා පමණයි .
වගකීමක් ගන්න බැරි නායකයින් අද මනෝවිකාර කතා කරනවා . නමුත් අපේ නායකයා ජනතාවට අස්වැසුම හරහාසමාජ සුභසාධන ප්රතිලාභ දුන්නා. උරුමය හරහා ඉඩම් අයිතිය ලබා දුන්නා. ඒ මේ
සියල්ල කලේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩනඟන අතරතුර බව සිහිපත් කළ යුතුයි.
සජිත් ප්‍රේමදාස එන්නේ පරණ ටෙලිෆෝන් එකෙන්. ඒත් අද හැමොගෙම අතේ තිබෙන්නේ ස්මාර්ට් ෆෝන්. ඒ සඳහා ඉන්ටර්නෙට් ලංකාවට හඳුන්වා දුන්නේත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යි. අනුර එන්නෙ මාලිමාවෙන්. මාලිමාව අවශ්‍යය වෙන්නෙ කැලේ අතරමං වුණාමයි.
නමුත් රනිල් වික්‍රමසිංහ හදුන්වා දුන් ඉන්ටර්නෙට් නිසා GPS යොදාගෙන නිවැරදි තැනට යන්න පුළුවන් . ඒ නිසා මෙයාලා ඩිජිටල් ගැන කතා කරන විට රනිල් වික්‍රමසිංහ මහතා රට ඉදිරියට ගෙන යාමට අවශ්‍යය ඒ කටයුතු සිදු කර අවසන් .
ඒ නිසා ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යා හැකි නායකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව මා ප්‍රකාශ කරනවා .
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා,
ජාතිවාදී ඉල්ලීම් ඉල්ලූ කිසිම කෙනෙක් අද අපේ කඳවුරේ නැහැ. ඒ සියලු දෙනා ඉන්නේ සජිත් ප්‍රේමදාස මහතා ළඟයි. මේ වන විට සමඟි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් 14දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට සහාය ලබාදීමට පැමිණ සිටිනවා .
2019 වසරේ දී සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද ලක්ෂ 55ක් ලබා ගත්තා . 2020 මහ මැතිවරණයේදී සමඟි ජනබලවේගය ලබා ගත්තේ ජන්ද ලක්ෂ 27 කි පමණයි.
ඒ වනවිට හරීන් ප්‍රනාන්දු , රාජිත සේනාරත්න, මනුෂ නානායක්කාර, , ඉෂාක් රහුමාන් හිටියේ සමඟි ජනබලවේගය පක්ෂයේයි. නමුත් අද වන විට ඒ සියලු දෙනා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එක්ව සිටිනවා.
ඉදිරියේදී තවත් මන්ත්‍රීවරුන් පිරිසක් අප සමඟ එක් වෙනවා. එම නිසා රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය නවත්වන්න කිසිවෙකුටත් හැකියාවක් නැහැ .
ඒ වගේම අප එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන්ද ඉල්ලීමක් කරනවා. 2019 ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස ලැබූ ඡන්ද ප්‍රමාණය 2020 මහ මැතිවරණයේදී අඩකින් අඩු කිරීමට ඔබ කටයුතු කළා. මේ මොහොතේ ඔබේ නායකතුමා ජනාධිපති සටනට එක්ව සිටිනවා.
එබැවින් මේ මොහොතේ එතුමාගේ ජයග්‍රහණයට එක්වන ලෙස මා සියලු එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා,
මීට වසර දෙකකට පෙර රටේ හැම දෙනාම කුමන හෝ පෝලිමක හිටියා. පෝලිමේ දුක් විඳපු නැති කිසිම කෙනෙක් හිටියේ නැහැ. අද රට බාර දෙන්න කියලා ඉදිරිපත් වෙලා සිටින කිසිම නායකයක් එදා ඔබ පීඩාවට පත්ව සිටියදී ඔබලා බේරා ගන්නට ඉදිරිපත් වුණේ නැහැ. විපක්ෂ නායකයා පැනලා ගියා.
විපක්ෂයේ සිටින ආර්ථික ඔස්තාර්ලා ආර්ථික අර්බුදයේදී ජනතාව පැත්තකට දාලා පැනලා ගියා. ඒ වෙලාවේදී ජනතාව පීඩාවෙන් මුඳවා ගැනීමට ඉදිරිපත් වුණේ රනිල් වික්‍රමසිංහ මහතා විතරයි. එදා රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් නොවුනා නම් අද බංගලාදේශයට වී තිබෙන දේ ලංකාවටත් සිදුවෙනවා.
එම නිසා ඉදිරි වසර පහේදී ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ශක්තිමත් කළ හැකි එකම ඒකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතායි.
හිටපු අමාත්‍ය පී. හැරිසන් මහතා,
අනුරාධපුරයේ සල්ගාදු පිටියට මෙතෙක් පැමිණි විශාලතම ජන ගඟ අද පැමිණ තිබෙනවා . මේ ජන ගඟ දෙස බැලූ විට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගේ ජයග්‍රහණය ස්ථිර බව කිව හැකියි . මීට වසර දෙකකට පෙර ජනතාව ඉල්ලුවේ පොහොර , ගෑස් සහ ඉන්ධන යි. අද වන විට මේ සියලු දේ කිසිම හිඟයකින් තොරව ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා.
දැන් එම කටයුත්තට නැවත සජිත් ප්‍රේමදාස හෝ අනුර දිසානායක අවශ්‍යය නැහැ. මේ රටේ ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේ එය නඟා සිටුවීමට ඉදිරිපත් වුණේ රනිල් වික්‍රමසිංහ මහතා පමණයි. මෙවර නායකයන් අත් හදා බලන්න යන්න එපා.
අත්හදා බැලීම් සිදු කර රට නැවතත් කඩා වැටුණොත් ගොඩ ගන්න කෙනෙක් නැහැ. ඒ වගේම ජාත්‍යන්තර සබඳතා තිබෙන, ආර්ථිකය ඔසවා තැබූ එකම නායකයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශ්වාසය ලබා ජයග්‍රහණය කරවන ලෙස මම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.
එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් නායක, උතුරු මැද පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක නීතිඥ කස්තුරි අනුරාධනායක මහතා,
ශ්‍රී ලංකාවේ පළවෙනි රාජධානියේ අද මේ ඇරඹෙන්නේ ඓතිහාසික කටයුත්තක් බව කිව යුතුයි. මේ රට නැවත සෞභාග්‍යමත් යුගයකට යන ගමනේ ආරම්භය අද මෙසේ සනිටුහන් කරනවා. අපේ රටින් බිහි වුණ බුද්ධිමත්, නිර්භය, ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි වගේම ජාත්‍යන්තරයේ පවා පිළිගැනීමට ලක් වූ අද්විතීය නායකයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් මේ රටේ ජනාධිපතිධූරයට පත් කරන ජයග්‍රාහී රැළි මාලාව අද අනුරාධපුර පුරවරයෙන් මේ අයුරින් ආරම්භ කරනවා.
රජ රට පළාතේ මහා සංඝරත්නය සහ අන්‍යාගමික ප්‍රසාදීන් වහන්සේලා ද, පක්ෂ විපක්ෂ බේදයෙන් තොරව පළාතේ දේශපාලන නියෝජිතයන් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.